hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 03, පෙ.ව. 8:46



ඉකුත් මැයි 29 වනදා පැවති මහමැතිවරණ ප්‍රතිඵල අනුව දකුණු අප්‍රිකාවේ පාලක අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ඓතිහාසික පසුබැසීමකට ලක්ව තිබෙනවා. වර්ණභේදවාදය අවසන් ව වසර තිහක කාලයක් එරට පාලනය කළ එම පක්ෂයට පළමු වරට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි තත්ත්වයක් උදා වුණා.

පාර්ලිමේන්තු ආසන 400 න් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය විසින් දිනාගන්නා ලද්දේ ආසන 159 ක් පමණයි. ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 87 ක් දිනාගත්තා. නමුත් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට වැඩිම බලපෑමක් සිදුවූයේ නව පක්ෂයක් වන උම්කොන්තෝ වේ සිස්වේ පක්ෂයෙන්. එය සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 14 ක් ඉක්මවා ලබාගත් අතර ආසන 58 ක් දිනාගත්තා.

උම්කොන්තෝ වේ සිස්වේ (UmKontho weSizwe) යනු අතීතයේදී අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ සන්නද්ධ අංශය හැඳින්වූ නම යි. මෙම නව පක්ෂයට​ නායකත්වය දෙනු ලබන්නේ හිටපු ජනාධිපති ජේකබ් සූමා යි. දූෂණ චෝදනා එල්ල වීම නිසා සූමාට එරෙහිව අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය තුළින් ම කැරැල්ලක් මතුවූ අතර ඒ අනුව 2017 දී ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ සිරිල් රමපෝසා යි.

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය සමග ආණ්ඩුවක් තනන්නේ නම් සිරිල් රමපෝසා ජනාධිපති තනතුරෙන් ඉවත් වියයුතු බව සූමා පවසනවා. කෙසේ වෙතත් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ඊට එකඟ නැහැ. දකුණු අප්‍රිකාවේ නව ජනාධිපති තෝරාගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසිනුයි.

මේ අතර කලක් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ තරුණ අංශයේ නායකයාව සිට එයින් ඉවත් වූ ජුලියස් මලේමා විසින් ස්ථාපිත කරන ලද ආර්ථික ස්වාධීනතා සටන්කරුවෝ (Economic Freedom Fighters) පක්ෂයට ද මෙවර ආසන 39 ක් ලැබී තිබෙනවා. එය කලින් වතාවට වඩා ආසන 5 ක අඩුවක්. කෙසේ වෙතත් එය ද සභාග ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීමට කැමැත්ත පළකරනවා. එය වාමාංශික නැඹුරුවක් ඇති පක්ෂයක්.

මේ අතර සූලු (Zulu) ජනතාව නියෝජනය කරන ඉන්කාතා නිදහස් පක්ෂය (Inkhatha Freedom Party) ආසන 17 ක් දිනාගෙන ඇති අතර ඉතිරි ආසන හතලිහ කුඩා පක්ෂ දහතුනක් අතර බෙදීගොස් තිබෙනවා.