hit counter

2025 ජූනි මස 06 වන සිකුරාදා

2025 ජූනි 05, ප.ව. 3:06



දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-ම්‍යුංග් ඊයේ එරට නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා.

හිටපු ජනාධිපති යුන් සුක්-යොල් තනතුරෙන් ඉවත් කරනු ලැබීම හේතුවෙන් මෙම ජනාධිපතිවරණය පවත්වන ලද්දේ නියමිත කාලයට වසර දෙකකට පෙරයි.

යුන් සුක්-යොල් යුධ නීතිය පනවා රටේ බලය අල්ලාගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වීමෙන් අනතුරුව ඔහුව පාර්ලිමේන්තුව මගින් දෝෂාභියෝගයකට ලක් කළා. දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එම දෝෂාභියෝගයට යූන් වරදකරු යැයි තීන් දු කළ හෙයින් නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට සිදුවුණා.

2022 ජනාධිපතිවරණයේදී දෙවැනි ස්ථානයට පත්වූ ලී ජේ-ම්‍යුංග් මෙවර සියයට 49.42 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ කිම් මුන්-සූ ලබාගත්තේ සියයට 41.15 ක ඡන්ද ප්‍රතිශතයක්.

1963 දී උපන් ලී ජේ-ම්‍යුංග් 2022 සිට දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරනවා. කුඩා කාලයේ කම්කරුවකු ලෙස සේවය කර ඇති ඔහු පසුකලෙක විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගෙන නීතිවේදී උපාධිය සම්පූර්ණ කළා. ඔහු දේශපාලනයට පිවිසියේ 2005 දී. 2017 දී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට තරග කළ ලී, එහිදී මූන් ජේ-ඉන් හමුවේ පරාජය වුණා. මූන් ජේ-ඉන් එම වසරේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා.

ලී ජේ-ම්‍යුංග් 2018 දී ජොංගි පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ අතර 2021 තෙක් එම ධුරයේ සේවය කළා. 2022 දී ප්‍රජාතන්‍ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක් ෂකයා ලෙස තේරීපත් වූ හෙතෙම යූන් සුක්-යොල් හමුවේ ජනාධිපතිවරණයේදී පරාජය වුණා. ලී 2024 ජනවාරි 2 වනදා ඝාතන තැතකින් දිවි ගලවාගැනීමට සමත් වුණා.