hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 23, ප.ව. 10:18



ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් සොයා ඔවුන් ඝාතනය කිරීම සඳහා ඊශ්‍රායලයේ මොසාඩ් සහ ශින් බෙට් බුද්ධි සේවාවන් විසින් විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බව වාර්තා වනවා.

පළමු ලෝක යුධ සමයේදී ඔටෝමන් තුර්කීන්ට එරෙහිව බ්‍රිතාන්‍යයට සහය දුන් “නිලි” නම් වූ රහසිගත බුද්ධි සංවිධානයේ නමින් පිහිටුවාගෙන ඇතැයි කියන මෙම සංවිධානය ඔක්තෝබර් 7 ප්‍රහාරයෙහි වැදගත්ම කාර් යයභාරයක් කළ බව කියන හමාස් සංවිධානයේ නුක්බා බලකායේ සාමාජිකයන් සොයා ඔවුන් ඝාතනය කිරීම අරමුණු කරගෙන ස්ථාපිත කර ඇති බව සඳහන්​.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන පරිදි නුක්බා බලකායේ ප්‍රබලයින් දෙදෙනකු ගාසා වෙත එල්ලවන ගුවන් ප්‍රහාර හමුවේ මියගොස් තිබෙනවා​. එම බලකායේ සාමාජිකයන් දස දෙනකු පසුගිය බදාදා එල්ල වූ ප්‍රහාරයකදී මියගිය බව විශ්වාස කෙරෙනවා.

ඊශ්‍රායලයට අවශ්‍යව සිටින ප්‍රධානම හමාස් නායකයින් දෙදෙනකු වන හමුදා අංශ ප්‍රධානී මොහොමඩ් ඩයිෆ් සහ දේශපාලන අංශ ප්‍රධානී යාහ්යා සින්වාර් ගාසා හි උමං පද්ධති අතර ආරක්ෂිතව සැඟව සිටින බවට විශ්වාස කෙරෙනවා.

මේ වනවිට ගාසා තීරයට එල්ල වී ඇති ප්‍රහාරවලින් 5000 කට වැඩි ගාසා වැසියන් පිරිසක් මියගොස් තිබෙනවා​. එයින් බොහෝ දෙනා සිවිල් වසියන් වනවා. ඊශ්‍රායලය පවසන්නේ තමන් හමාස් සංවිධානය අතුගා දමන බවයි.