hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 28, ප.ව. 6:06



තායිලන්තය සහ කාම්බෝජය වහාම ක්‍රියාත්මක වන සහ කොන්දේසි විරහිත සටන් විරාමයක් සඳහා එකඟ වූයේ යැයි මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම් සඳහන් කරනවා.

තායි වැඩබලන අගමැති ෆුතම් වෙචයචායි සහ කාම්බෝජ අගමැති හුන් මනෙට් අද දින මැලේසියාවේ පරිපාලන අගනුවර වන පුත්‍රජයා හි අගමැති නිල නිවසේදී සාකච්ඡා පැවැත්වූවා.

තායිලන්තය සහ කාම්බෝජය අතර පසුගිය දිනවල ඇතිවූ දේශසීමා යුද්ධයෙන් මේ වනවිට 35 දෙනකු මියගොස් ඇති අතර 270,000 ක් පමණ අවතැන්ව තිබෙනවා.

මෙම ගැටලුව නිරාකරණය කිරීම පිළිබඳව ඇමරිකාවේ සහ චීනයේ නායකත්වය ද උනන්දු වන බවත් එම දෙරටම තායිලන්තය​, කාම්බෝජය සහ මැලේසියාව සමග ඒ පිළිබඳ කරුණු හුවමාරු කරගනිමින් සිටින බවත් ඊබ්‍රහිම් කියා සිටියා.

අද පැවති සාකච්ඡා සඳහා ද මැලේසියාවේ ඇමරිකන් සහ චීන තානාපතිවරුන් එක්ව සිටියා.

එමෙන්ම හෙට​, එනම් අඟහරුවාදා, තායි සහ කාම්බෝජ හමුදාවන් අතර ද සාකච්ඡා සිදුවන බවයි සඳහන් වූයේ.

අද දින සාකච්ඡා ඇරඹෙන අවස්ථාව වනවිට ද දෙපාර්ශවය අතර සටන් පැවති බවට වාර්තා වූ අතර තායිලන්තය සිය දේශසීමාව වෙත හමුදා රැස් කරමින් සිටියා.

කෙසේ වෙතත් මෙම සටන් විරාමය පිළිබඳ රටවල් දෙකේම නායකයින් බලාපොරොත්තු තබා තිබෙන බව ද සඳහන් වුණා.

තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා අර්බුදය කලක් තිස්සේ පවතින නොවිසඳුනු ප්‍රශ්නයක් වන අතර එය විටින් විට ගැටුම්කාරී තත්ත්වයන්ට හේතු වී තිබෙනවා. මීට මූලිකව තිබෙන්නේ ප්‍රියා විහාර් නම් පැරණි හින්දු දෙවොලක් සහ ඒ ආසන්න භූමි ප්‍රදේශය යි. පසුගිය සති කිහිපය තුළ මෙම ගැටුම්කාරී තත්ත්වය නැවත ඇවිලී ගිය අතර ජූලි 24 වනදා සිට එම ගැටුම් උත්සන්න තත්ත්වයකට පත්වුණා.