hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 11, පෙ.ව. 10:30



යුක්‍රේන යුධ බිමෙහි දන්යෙත්ස්ක් (Donetsk) පළාතේ තරෙත්ස්ක් (Toretsk) නගරය උදෙසා මේ වනවිට දරුණු සටන් පවතිනවා.

යුක්‍රේන හමුදා සඳහන් කරන්නේ නගරයෙහි දොරින් දොර සටන් සිදුවන තත්ත්වයක් ඇති බවයි.

පසුගිය ජූනි මාසයේ සිට මෙම ප්‍රදේශය රුසියානු ප්‍රහාරයන්ට ලක් වෙමින් තිබෙනවා. මීට සති කිහිපයකට පෙර රුසියානු හමුදා මේ ආසන්නයේ පිහිටි නිව්-යෝර්ක් නගරය අල්ලාගත් අතර එයින් අනතුරුව තරෙත්ස්ක් දෙසට එල්ල වන ප්‍රහාර දැඩි වුණා. නොබෝදා රුසියානු හමුදා නගරයෙහි නැගෙනහිර ප්‍රදේශයට ඇතුල් වීමට සමත් වුණා.

දන්යෙත්ස්ක් පළාතේ සටන්වලදී රුසියානුවන් පසුගිය මාස කිහිපය තුළ ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කර තිබෙනවා. එහෙයින් එම පළාතේ සටන්වල ඉදිරි අනාගතය පිළිබඳ යුක්‍රේන හමුදා නායකත්වය තුළ කිසියම් චකිතයක් ඇතිවී තිබෙන බව සඳහන් වනවා.

මේ අතරතුර රුසියාවේ අදිගීය සමූහාණ්ඩුවේ (Republic of Adygea) පිහිටි හාන්ස්කයා (Khanskaya) ගුවන් කඳවුරට ප්‍රහාරයක් එල්ල කළ බව යුක්‍රේනය ඊයේ පැවසුවා. එම ප්‍රහාරය අවස්ථාවේ එම කඳවුරෙහි Su-34, Su-35 ගුවන් යානා ද Mi-8 හෙලිකොප්ටර් ද වූ බවයි යුක්‍රේනය පවසා සිටියේ.