hit counter

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා

2025 මාර්තු 31, ප.ව. 1:06



යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ නෛතිකභාවය පිළිබඳ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමන් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග කේන්තියෙන් පසුවන අතර යුක්‍රේන අර්බුදය විසඳීම ප්‍රමාද වන්නේ පුටින් හේතුවෙන් යැයි තමන් විශ්වාස කරන්නේ නම් රුසියාවට එරෙහිව තවත් සම් බාධක පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා.

ඇමරිකාවේ NBC මාධ්‍ය ආයතනය සමග දුරකථනය ඔස්සේ සංවාදයකට එක්වෙමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබෙනවා.

තවද ට්‍රම්ප් කියා සිටියේ පුටින් සමග නුදුරේදීම තවත් දුරකථන සංවාදයක් පවත්වා මේ පිළිබඳ සාකච්ඡා කළ යුතු බවයි. එම දුරකථන සංවාදය මේ සතිය තුළ සිදුවිය හැකි බව ද NBC මාධ්‍ය ආයතනය වාර්තා කර තිබෙනවා.

ව්ලදිමීර් පුටින් මෑතකදී කියා සිටියේ සෙලෙන්ස්කිගේ ධුර කාලය අවසන් බැවින් යුක්‍රේනයේ තාවකාලික ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු යැයි තමන් සිතන බවයි.

සෙලෙන්ස්කිගේ ධුර කාලය අවසන් වූයේ 2024 මැයි මාසයේ යි. කෙසේ වෙතත් යුද්ධය අතරතුර ජනාධිපතිවරණයක් පැවැත්වීම කළ නොහැකි යැයි සඳහන් කරමින් ඔහු දිගටම ධුරයේ රැඳී සිටිනවා. හදිසි නීතිය පවතින තෙක් ජනාධිපතිවරණය පැවැත්වීමට නෛතිකව හැකියාවක් නැහැ. මෙතෙක් යුක්‍රේන පාර්ලිමේන්තුව හදිසි නීතිය දිගු කිරීමට අනුමැතිය යළි යළිත් ලබා දී තිබෙනවා.

මේ අතර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් සෙලෙන්ස්කි පිළිබඳව ද ට්‍රම්ප් දෝශාරෝපණය කර තිබුණා. සෙලෙන්ස්කි ඛනිජ සම්පත් පිළිබඳ ගිවිසුමෙන් ඉවත් වීමට උත්සාහ කරන බවත්, නේටෝ සංවිධානයේ සාමාජිකත්වය පිළිබඳ නැවත නැවතත් ඉල්ලීම් කරන බවත් ට්‍රම්ප් පවසනවා. යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබාගත නොහැකි බව සෙලෙන්ස්කි හොඳින්ම දන්නේ යැයි ද ට්‍රම්ප් කියා සිටියා. සෙලෙන්ස්කි දිගටම මෙම ඉල්ලීම් කළහොත් ඔහු විශාල අමාරුවක වැටෙන බව ද ට්‍රම්ප් අවධාරණය කළා.