2025 අගෝස්‍තු 07, පෙ.ව. 2:20
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නුදුරේදීම රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මුණගැසීමට අදහස් කරගෙන සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
ඇතැම්විට මෙම හමුව ලබන සතියේදී වුවද සිදුවිය හැකි බවයි තතු දත් දෙපළක් ලබාදුන් තොරතුරු මත එම පුවත්පත කියා සිටින්නේ.
මෙම හමුවෙන් පසු ට්‍රම්ප්, පුටින්, සෙලෙන්ස්කි තිදෙනා අතර හමුවක් පිළිබඳව ද ට්‍රම්ප් බලාපොරොත්තු තබාගෙන සිටින බව සඳහන් වනවා.
සිය විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග හමුවී පැය තුනක් පමණ කළ සාකච්ඡාවලින් පසුව ට්‍රම්ප් යුරෝපීය රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග මේ බව කියා සිටි බව වාර්තා වනවා.
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර්, ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ට්ස්, නේටෝ මහ ලේකම් මාර්ක් රටර්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ස්ටීව් විට්කොෆ් යන අය සම්බන්ධ වූ දුරකථන සංවාදයකදී ට්‍රම්ප් මෙම තොරතුරු සඳහන් කළ බවයි කියැවෙන්නේ. එම ඇමතුමට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ද සම් බන් ධව සිටි බව දැනගන්නට ලැබෙනවා.
කෙසේ වෙතත් කිසිදු පාර්ශවයක් මේ පිළිබඳ නිල වශයෙන් කිසිත් ප්‍රකාශ කර නැහැ. රුසියාව ද මෙතෙක් නිල වශයෙන් කිසිවක් පවසා නැහැ.
සිය ටෘත් සෝශල් සමාජ මාධ්‍ය ගිණුමේ අදහස් දක්වමින් ට්‍රම්ප්, විට්කොෆ් සහ පුටින් අතර හමුව ඵලදායී බවත් යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරි සතිවලදී පියවරයන් ගනු ඇති බවත් සඳහන් කර තිබුණා.
2025 අගෝස්‍තු 06, ප.ව. 11:08
2025 අගෝස්‍තු 06, ප.ව. 10:58
2025 අගෝස්‍තු 06, ප.ව. 12:31
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59