hit counter

2025 පෙබරවාරි මස 10 වන සඳුදා

2025 පෙබරවාරි 09, ප.ව. 11:21



දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන්ට ඇමරිකාවට පැමිණීම පහසු කරන ලෙස සරණාගත කටයුතු පිළිබඳ බලධාරීන්ට නියෝග කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක ආඥාවක් නිකුත් කර තිබෙනවා.

මීට හේතුව ලෙස දක්වා ඇත්තේ දකුණු අප්‍රිකාව විසින් මෑතකදී සම්මත කළ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතක්. ඒ අනුව සුදු ජාතික අෆ්‍රිකානර්වරුන්ගේ ඉඩම් වන්දි ගෙවීමකින් තොරව පවරාගැනීමට දකුණු අප්‍රිකානු ආණ්ඩුවට ඉඩ ලැබෙන්නේ යයි ට්‍රම්ප් පවසනවා.

අෆ්‍රිකානර්වරුන් 17 වන සියවසෙහි දකුණු අප්‍රිකාවේ පදිංචි වූ ඕලන්ද ජාතිකයන් ගෙන් පැවත එන්නන් වනවා.

නව නීතිය හඳුන්වා දී ඇත්තේ ජනවාර්ගික වශයෙන් ඉඩම් අයිතිය අසම ලෙස බෙදී තිබීම අඩු කිරීම සඳහා බවයි පැවසෙන්නේ. නමුත් ට්‍රම්ප් පවසන අයුරින් ඉඩම් අත්පත් කරගන්නේ නැති බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා පවසනවා.

සුදු ජාතිකයන් විසින් දකුණු අප්‍රිකාවේ ඉඩම් විශාල ප්‍රමාණයක් යටත් විජිත යුගයේදීම අල්ලාගත් අතර වර්ණභේදවාදය පැවති සමයේදී එය තවත් වර්ධනය වුණා. 1994 දී සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද ඉඩම් වඩා සාධාරණ ලෙස බෙදීම පිළිබඳ කරුණු අඩංගු වනවා.