hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 14, පෙ.ව. 10:44



හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බට්ලර් ප්‍රදේශයේදී සිදුවූ ඝාතන තැතකින් දිවි ගලවාගත්තා.

මැතිවරණ රැළියක් අමතමින් සිටියදී ඔහුට වෙඩි තැබීමක් සිදුවූ අතර ඔහු එම අවස්ථාවේ බිමට පහත් වුණා. ඇමරිකානු ප්‍රභූ ආරක්ෂක සේවයේ (US Secret Service) සාමාජිකයන් වහා ඔහුව වටකරගත් අතර වෙඩික්කරුවා දෙසට ද ඔවුන් වෙඩි තැබුවා. පසුව ට්‍රම්ප්ව වේදිකාවෙන් ඉවත් කරගෙන යනු දකින්නට ලැබුණා. එහිදී ඔහු සිය දකුණත මිට මිළවා ඔසවමින් තමා යහතින් යයි පෙන්නුම් කළා.

ට්‍රම්ප්ගේ කණට පමණක් තුවාල සිදුව තිබූ අතර පැය කිහිපයක් තුළ ඔහුව රෝහලෙන් පිටත් කළා. සිදුවීමෙන් පැය හයකට පමණ පසු ට්‍රම්ප් නිව් ජර්සි ප්‍රාන්තය වෙත ගුවනින් පැමිණියා. මේ අතර සිය ආධාරකරුවන් වෙත ඊමේල් පණිවිඩයක් යවමින් ට්‍රම්ප් කියා සිටියේ තමන් “යටත් නොවන” බවයි.

මෙම සිද්ධිය සම්බන්ධව ඇමරිකානු දේශපාලන නායකයන් සිය පිළිකුල දක්වා තිබුණා. ජෝ බයිඩන් ජනාධිපතිවරයා ද ට්‍රම්ප් ඇමතූ බව ධවල මන්දිරය කියා සිටියා. මේ අතර මෙම සිද්ධිය පිළිබඳව ප්‍රභූ ආරක්ෂක සේවයේ ප්‍රධානියා කැඳවා කරුණු විමසන බව ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩල කතානායකවරයා පැවසුවා.

වෙඩික්කරුවා රැඳී සිට ඇත්තේ ට්‍රම්ප් කතාකරන ස්ථානයෙන් මීටර් සියයක්, එකසිය විස්සක් තරම් ආසන්නයේ පිහිටි තට්ටුවක​, දෙකක උසින් යුතු ගොඩනැගිල්ලක් මතයි. ඔහු අසළ තිබී AR වර්ගයේ රයිෆලයක් සොයාගෙන තිබුණා. මේ පුද්ගලයා වයස අවුරුදු 20 ක පමණ අයකු බවයි කියැවුණේ. නමුත් ඔහු පිළිබඳ වැඩි විස්තර අනාවරණය කෙරුණේ නැහැ. මේ අතර ඇසින් දුටු සාක්කිකරුවකු බව කියන අයකු පවසා තිබුණේ වෙඩි තැබීම සිදුවන්නට පෙර මෙම ගොඩනැගිල්ල වෙත යමෙකු නගිනු තමා දුටු බව සහ පොලිසියට ඒ බව දැනුම්දුන් බවයි.