hit counter

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා

2025 මාර්තු 31, ප.ව. 1:43



තුන්වන ධුර කාලයක් පිළිබඳ කෙරෙන කතාබහ විහිලුවක් නොවන නමුත් ඒ පිළිබඳ කල්පනා කිරීමට තවම කල් වැඩි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

NBC මාධ්‍ය ආයතනය සමග කළ දුරකථන සංවාදයක් අතරතුර දී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ට්‍රම්ප්ට තුන්වන ධුර කාලයක් සඳහා ඇති අවකාශය පිළිබඳ මීට පෙර ද යම් යම් අදහස් මතුව තිබුණා. නමුත් ඇතැම් ට්‍රම්ප් හිතවාදීන් සඳහන් කර තිබුණේ එය විහිලුවක් බවයි. ට්‍රම්ප් සමග කරන අදහස් දැක්වීමේදී එය විහිලුවක් ය යන අදහස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහුට තවත් ධුර කාලයක් සඳහා ඉදිරිපත් වීමේ සැලැස්මක් තිබේදැයි විමසන ලද විට ට්‍රම්ප් පවසා ඇත්තේ සැලසුමක් නැතත් අවශ්‍ය නම් ඒ සඳහා ක්‍රමවේදයන් තිබෙන බවයි. තමන් තවත් ධුර කාලයක් සඳහා ජනාධිපති ධුරය දැරීම පිළිබඳ බොහෝ දෙනාට අවශ්‍යතාවයක් ඇතැයි ද ඔහු කියා සිටිනවා.

ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1951 දී හඳුන්වා දුන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසියම් අයකුට ඡන්දයෙන් තුන් වතාවක් ජනාධිපති ලෙස පත්විය නොහැකියි. ට්‍රම්ප් දෙවරක් එසේ පත්ව ඇති හෙයින් ඔහුට දැනට පවතින තත්ත්වය යටතේ නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව එම ධුරයට පත්විය නොහැකියි.

නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්ව එම ධුරයට පත්වීමට නම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ඒ සඳහා කොන්ග්‍රස් මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරය මෙන්ම ජනපද හතරෙන් තුනක අනුමැතිය ලැබිය යුතුයි.

මීට වඩා වෙනස් විකල්පයක් වන්නේ වෙනත් අයකු ජනාධිපති ලෙස ඉදිරිපත් කර ඔහුගේ උප ජනාධිපති ලෙස ට්‍රම්ප් තරග කිරීමයි. ඉන් අනතුරුව ජනාධිපති ලෙස පත්වන තැනැත්තා ඉල්ලා අස්වී ට්‍රම්ප්ව ජනාධිපති ලෙස පත්කර ගැනීමට අවකාශ සැලසිය යුතු වනවා.