hit counter

2025 ජූනි මස 02 වන සඳුදා

2023 අගෝස්‍තු 11, පෙ.ව. 12:05



ඊසානදිග යුක්‍රේනයේ ක්‍රාකව් ප්‍රදේශයේ පිහිටි කුපියාන්ස්ක් නගරයෙන් වඩාත් අවදානම් සහිත සිවිල් වැසියන්ට ඉවත්වන ලෙස යුක්‍රේන බලධාරීන් දන්වා තිබෙනවා.

ප්‍රදේශයට එල්ලවන රුසියානු ප්‍රහාර හමුවේ තවදුරටත් එහි රැඳී සිටීම ආරක්ෂිත නොවන බවට යුක්‍රේන බලධාරීන් පවසා සිටිනවා.

මේ අනුව ළමුන්, දරුවන් සිටින කාන්තාවන්, වයෝවෘද්ධ පුද්ගලයන්, රෝගීන් හා ඇවිදීමේ අපහසුතා ඇති අයට ඉවත්ව යන ලෙස දන්වා තිබෙන බවයි වාර්තා වූයේ.

කුපියාන්ස්ක් ප්‍රදේශයට පසුගිය සමයේ දිගින් දිගටම රුසියානු ප්‍රහාර එල්ල වූ අතර එය යුක්‍රේන හමුදාවන්ට අහිමිවීමේ අවදානමක් තිබෙන බවක් පෙනී යනවා.

මෙම ප්‍රදේශ යුද්ධය ආරම්භක සමයේ රුසියන් ග්‍රහණයට පත් වූ අතර​, 2022 සැප්තැම්බරයේදී එල්ල වූ සාර්ථක යුක්‍රේන ප්‍රතිප්‍රහාර මගින් රුසියානුවන් වෙතින් නැවත අල්ලාගනු ලැබුණා.

සටන් පෙරමුණේ දකුණුදිග ප්‍රදේශවල මාස දෙකක් තිස්සේ එල්ල වන යුක්‍රේන ප්‍රතිප්‍රහාරයට මුහුණදෙන අතරම රුසියානුවන් ක්‍රාකව් දෙසින් සිය ප්‍රහාර වැඩි කරනු ලැබ තිබෙනවා. මෙය යුක්‍රේනියානුවන් මුහුණදෙන ප්‍රබල අභියෝගයක් බවට පත්ව තිබෙනවා.