hit counter

2025 ජනවාරි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 16, ප.ව. 6:15



ඇමරිකාවෙන් යුධ ආධාර ලැබීම සඳහා තවත් කල් බලා සිටිය නොහැකි තත්ත්වයක් උදාවෙමින් පවතින බව යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා සඳහන් කරනවා.

ABC News ආයතනය සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ ඇමරිකානු යුධ ආධාර සහ ආයුධ නොලැබුණහොත් යුක්‍රේනියානු ජනතාව සවල්වලින් හෝ සටන් කරන බවයි. යුක්‍රේනය මුහුණ දී ඇත්තේ රාජ්‍යයක් ලෙස එහි පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට බවත් එහෙයින් ජනතාවට වෙනත් විකල්පයක් නොමැති බවත් ඔහු කියා සිටිනවා. යුක්‍රේනයට මේ අවස්ථාවේ සහය නොලැබුනොත් ඊට මුහුණදීමට සිදුවන ඉරණම එතරම් යහපත් නොවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

යුධ පෙරමුණේදී රුසියාව පසුගිය දිනවල ලබාගත් බව කියන ජයග්‍රහණ එතරම් වැදගත් නොවන ඒවා බව කුලේබා සඳහන් කළා.

යුක්‍රේනය වෙත ඇමරිකාව විසින් ලබාදෙන යුධ ආධාර මේ වනවිට නැවතී තිබෙනවා. විශේෂයෙන්ම රිපබ්ලිකන් පාක්ෂිකයන් සමහරක් දෙනාගේ විවේචන හේතුවෙන් මෙම අරමුදල් නැවතී ඇති අතර එම රිපබ්ලිකානුවන් පවසන්නේ ඇමරිකානු දේශසීමා ආරක්ෂා කිරීමට මුදල් වියදම් නොකර යුක්‍රේනය වෙනුවෙන් මුදල් වියදම් කිරීම පිළිගත නොහැකි බවයි. එමෙන්ම යුක්‍රේනයට ජයග්‍රහණය සඳහා කිසිදු සැලැස්මක් නොමැති බව ද එම විවේචකයන් පෙන්වා දෙනවා.