hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූලි 15, ප.ව. 12:03



ජූලි 13 සන්ධ්‍යාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බට්ලර් ප්‍රදේශයේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩිතැබූ පුද්ගලයාගේ අරමුණ කුමක් වූයේදැයි තවමත් පැහැදිලි නැතැයි ඇමරිකානු බලධාරීන් පවසනවා.

මොහු තෝමස් මැතිව් කෘක්ස් නම් 20 හැවිරිදි අයකු බව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පැවසුවා. කෘක්ස් පෙන්සිල්වේනියාවේ බෙතල් පාර්ක් ප්‍රදේශයේ ජීවත් වූවෙක්. ඔහු රිපබ්ලිකන් පක්ෂ ඡන්දදායකයකු ලෙස මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි වී තිබෙනවා. කෙසේ වෙතත් වයස අවුරුදු 17 දී ඔහු වාමාංශයට නැඹුරු ඩිමොක්‍රටික් පක්ෂ ඡන්දදායකයන් බලමුළුගන්වන සංවිධානයකට ඩොලර් 15 ක ආධාරයක් ලබාදී තිබෙනවා. මේ කරුණු අනුව ඔහුගේ දේශපාලන මතවාදය කුමක්දැයි පැහැදිලි නැහැ.

ට්‍රම්ප් බට්ලර් ප්‍රදේශයේ මැතිවරණ රැළිය ඇමතීමට පටන් ගෙන සුළු මොහොතකින් කෘක්ස් ඔහු දෙසට වෙඩි තැබූ අතර ඒ සඳහා භාවිතා කර ඇත්තේ AR-15 වර්ගයේ රයිෆලයක්. මෙය ඇමරිකාවේ ප්‍රාන්ත නවයක තහනම් ආයුධයක් වුවද පෙන්සිල්වේනියාවේ එම තහනම ක්‍රියාත්මක නැහැ. තවද කෘක්ස්ගේ මෝටර් රථයෙහි තිබී පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව ද ෆෙඩරල් විමර්ශන කාර්යංශය පැවසුවා.