hit counter

2025 අගෝස්‍තු මස 26 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 25, පෙ.ව. 8:33



වෙනෙසුවේලා මුහුදු සීමාව ආසන්නයට ඇමරිකන් නාවික හමුදා යාත්‍රා කිහිපයක්ම එක්රැස් වීම හේතුවෙන් ඇමරිකාව වෙනෙසුවේලාවේ කිසියම් හමුදා මෙහෙයුමකට සැරසෙන්නේදැයි සැකයක් නිර්මාණය වී තිබෙනවා.

මෙසේ වෙනෙසුවේලා මුහුදු සීමාව ආසන්නයට ළඟා වූ හෝ ළඟා වන හෝ නෞකා අතර ඒජිස් ගයිඩඩ් මිසයිල් ඩෙස්ට්‍රෝයෙර් වර්ගයේ නෞකා තුනක් ද වනවා. ඊට අමතරව දිය – ගොඩ සටන් සූදානම් කණ්ඩායමක් ද එම ප්‍රදේශය කරා යවා ඇතැයි වාර්තා පළව තිබෙනවා. තවද ඇමරිකානු සබ්මැරීනයක් ද එම ප්‍රදේශයේ සැරිසරන බව වාර්තා වනවා.

ඇමරිකාව සඳහන් කරන්නේ කැරිබියානු මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලට එරෙහිව කෙරෙන මෙහෙයුම්වල කොටසක් ලෙස මෙම ක්‍රියාවලිය සිදුවන බවයි.

මේ අතර ඇමරිකානු පරිපාලනය විසින් නිකුලස් මදුරෝගේ වෙනෙසුවේලා ආණ්ඩුවට එරෙහිව කෙරෙන තර්ජන වැඩිවී තිබෙනවා. මදුරෝ පාලනය නාර්කෝ-ත්‍රස්තවාදී සංවිධානයකැයි ධවල මන්දිර ප්‍රකාශිකා කැතරින් ලෙවිට් කියා සිටියා.

තවද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චෝදනා කළේ වෙනෙසුවේලාව තුළ රුසියාව සහ ඉරානය සිදු කරන කටයුතු පිළිබඳ ඇමරිකාවට ගැටලු ඇති බවයි. විශේෂයෙන්ම ඉරානය එහි ඩ්‍රෝන නිපදවීමේ කටයුතු සිදුකරන බවත් තම රට ආසන්න කලාපයේ එවැනි ක්‍රියා සිදුවීම පිළිබඳ තමන් නොසතුටු බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් මදුරෝ පාලනයට එරෙහිව හමුදා මෙහෙයුම් දියත් කිරීම පිළිබඳ ඇමරිකාව නිල වශයෙන් කිසිවක් සඳහන් කර නැහැ.

ඇමරිකාවට මත්ද්‍රව්‍ය ගෙනෙන කණ්ඩායම් මැඩීමට තමන් කටයුතු කරන්නේ යැයි ධවල මන්දිර ප්‍රකාශිකාව අවධාරණය කරනවා.

තමන් වෙත එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන මදුරෝ පාලනය කියා සිටින්නේ ගරාවැටෙන බලවතකු වන ඇමරිකාව තමන්ට පුහු තර්ජන කරන බවයි. මේ අතර වෙනෙසුවේලා මහජන මිලීශියාවට කැඳවීම් ලැබී ඇතැයි වාර්තා වුණා. මදුරෝ ආණ්ඩුව පවසන්නේ මිලියන 4.5 ක මිලීශියා සාමාජිකයන් කැඳවා ඇති බවයි. නමුත් විචාරකයන් මෙම සංඛ්‍යාව පිළිබඳව මෙන්ම ඔවුනගේ සටන්කාමීත්වය පිළිබඳව ද සැක පළකරනවා.

නාර්කෝ-ත්‍රස්තවාදී කණ් ඩායම් ලෙස ඇමරිකාව විසින් හඳුන්වා දී ඇති කාර්ටලවලට එරෙහිව කටයුතු කිරීමට තම හමුදාවන්ට අවසර දීමේ නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ බව ද අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මෑතකදී පවසා තිබුණා.