hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 අගෝස්‍තු 20, ප.ව. 10:05



ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සම්භවයක් සහිත ඇමරිකානු ව්‍යවසායකයකු වන​ විවේක් රාමස්වාමි ඇමරිකාවේ 2024 ජනාධිපතිවරණ රිපබ්ලිකන් පක්ෂ නාම යෝජනා දිනාගැනීමේ සටනෙහි දෙවැනි තැනට පෙමිණෙමින් සිටින බව නවතම​ සමීක්ෂණයක් මගින් පෙන්වා දී තිබෙනවා.

මෙතෙක් පැවති සමීක්ෂණවල ආකාරයෙන්ම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පහසුවෙන්ම පළමු තැන සිටිනවා. ඔහුට ලැබී ඇති ජනප්‍රසාදය සියයට 56 ක්. නමුත් මෙතෙක් දෙවැනි ස්ථානයේ පසුවූ රොන් ඩිසැන්ටිස් අභිබවා යමින් විවේක් රාමස්වාමි ඉදිරියට පැමිණෙන බවක් පෙනී යනවා.

එමර්සන් විද්‍යාලය විසින් කරන ලද මෙම සමීක්ෂණයෙහිදී ඩිසැන්ටිස් සහ රාමස්වාමි යන දෙදෙනාම සියයට 10 ක කැමැත්තක් දිනාගෙන සිටිනවා. කෙසේ වෙතත් එම ආයතනය විසින්ම ජූනි මාසයේදී කළ සමීක්ෂණයේදී රාමස්වාමි දිනාගෙන සිටියේ සියයට 2 ක ප්‍රසාදයක් පමණයි.

විවේක් රාමස්වාමි දැඩි කොන්සර්වේටිව් මතවාදියෙක්. LGBTQ අයිතීන් ප්‍රතික්ෂේප කරන්නෙක්. එමෙන්ම ඔහු පවසන්නේ ඡන්ද හිමි වයස අවුරුදු 25 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවයි. තවද නව ඡන්දදායකයන් ප්‍රජා දැනුම පිළිබඳ විභාගයකට මුහුණදිය යුතු බවත් ඔහු පවසනවා. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ද ඔහුගේ මතය අන් අපේක්ෂකයන්ට වඩා වෙනස් එකක්. ඔහු කියා සිටින්නේ යුක්‍රේන යුද්ධය කොරියාවේදී මෙන් සටන් විරාමයක් මගින් නිමා කළ යුතු බවයි.

එළඹෙන අගෝස්තු 23 වනදා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන්ගේ පළමු විවාදය පැවැත්වෙනවා. මෙයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැමිණීම තහවුරු කර නැහැ. කෙසේ වෙතත් රාමස්වාමිව මෙහිදී දැඩි ලෙස විවේචනය කරන ලෙස ඩි සැන්ටිස් මැතිවරණය ව්‍යාපාරය තුළ කතාබහක් වූයේ යයි මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පසුගියදා ඊලොන් මස්ක් X හි (කලින් ට්විටර්) තැබූ සටහනක් මගින් ඔහු ද රාමස්වාමි වෙත සහය පළ කරන බවක් පෙනී යනවා.