hit counter

2024 දෙසැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 25, පෙ.ව. 6:38



රුසියාවේ වැග්නර් පුද්ගලික මිලිටරි සමාගමේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් නොබෝදා සිදුවූ ගුවන් අනතුරකින් මරණයට පත්වූ බව වාර්තා වුණා. ඔහු ගමන් ගත් ලෙගසි 600 වර්ගයේ ගුවන් යානයෙහි සිටි පිරිසගේ නම් මේ වනවිට නිකුත්ව තිබෙනවා.

මේ අතර ප්‍රිගෝෂින්ට අමතරව දිමිත්‍රි උත්කින්, වලේරි චෙකලොෆ්, යෙව්ගෙනි මකර්යාන්, සර්ගේයි ප්‍රොපුස්තින්, අලෙක්සන්දර් තොත්මින්, අලෙක්සේයි ලෙව්ශින්, රුස්තාම් කරිමෝෆ්, ක්‍රිස්තිනා රස්පපෝවා, නිකොලායි මතුසීෆ් යන අයගේ නම් සඳහන් වනවා.

මෙයින් දිමිත්‍රි උත්කින් ප්‍රකට චරිතයක් වන අතර වැග්නර් සමාගමේ හිමිකරු යයි කලක් තිස්සේ විශ්වාස කෙරුණේ ඔහුයි. කෙසේ වෙතත් පසුව කියැවුණේ ප්‍රිගෝෂින් ඔහුව ඉදිරියට දමා සැඟව සිටි නියම වැග්නර් ප්‍රධානියා බවයි. හිටපු විශේෂ බලකා සාමාජිකයකු සහ හමුදා බුද්ධි නිලධාරියකු වන උත්කින් චෙච්නියාවේ යුද්ධවලට සහභාගී වූ අයෙක්.

චෙකාලොෆ් වැග්නර් හි සැපයුම් කලමණාකරු ලෙස කටයුතු කළ බව විශ්වාස කෙරෙන අතර විදේශයන් හි ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු මෙන්ම කුලී හේවායන් කලමණාකරණය කිරීම ද ඔහු යටතේ සිදුවූයේ යයි විශ්වාස කෙරෙනවා.

යෙව්ගෙනි මකර්යාන් වැග්නර් හි සාමාජිකයකු සහ සටන් කරුවකු වූ අතර සිරියාවේදී වරක් ඇමරිකන් ගුවන් ප්‍රහාරයක් අතරතුර ඔහු තුවාල ලද බවත් විශ්වාස කෙරෙනවා.

ප්‍රොපුස්තින්, තොත්මින් සහ මතුසීව් ද වැග්නර් සාමාජිකයන් යයි විශ්වාස කෙරෙන අතර ඔවුන් පිළිබඳ වැඩි තොරතුරු සඳහන්ව නැහැ.

අලෙක්සේයි ලෙව්ශින් යානයේ ප්‍රධාන නියමුවා වූ අතර සහය නියමුවා වූයේ රුස්තාම් කරිමෝෆ් බව සඳහන්. ක්‍රිස්තිනා රස්පපෝවා යානයේ ගුවන් සහායිකාව වූ අතර ඇය 39 වන වියෙහි පසුවුණා. මේ අතර 29 හැවිරිදි කරිමෝෆ් යානයේ සිටි ලාබාලම තැනැත්තා ලෙස සඳහන් ව තිබෙනවා. යානයේ ප්‍රධාන නියමු ලෙව්ශින් වසර විස්සක පමණ පළපුරුද්දක් සහිත වූ ගුවන් නියමුවෙක් බවයි සඳහන් වන්නේ.