hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 03, පෙ.ව. 9:46



ඉන්දියාවේ අදියර හතකින් පැවති මහමැතිවරණය ජූනි 1 වනදා අවසන් වුණා. එයින් අනතුරුව ඒ පිළිබඳ පසු සමීක්ෂණ වාර්තා (Exit Polls) පැමිණ තිබෙනවා. එම වාර්තා කිහිපයකින්ම පෙනී යන්නේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන් ධානය ආසන 400 සීමාව ආසන්නයට ළඟාවීමේ කිසියම් ඉඩක් ඇති බවයි.

පසු සමීක් ෂණ වාර්තා අනුව භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය කර්ණාටක​, බටහිර බෙංගාලය​, ඔදීසා, ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලන් ගනාවේ අපේක්ෂා කළාට වඩා හොඳ ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව පෙනෙනවා. එමෙන්ම ආසන 80 ක් ඇති උත්තර් ප්‍රදේශ්, ආසන 29 ක් ඇති මධ්‍ය ප්‍රදේශ්, ආසන 26 ක් ඇති ගුජරාට් මෙන්ම ආසන 48 ක් ඇති මහාරාශ්ඨ්‍ර වැනි ප්‍රාන්තවල ද වැඩි වාසි එම සන් ධානය වෙත ලැබී ඇති සෙයක් පෙන්නුම් කරනවා. මෙයින් ගුජරාට් හා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තවල සියළු ආසන බීජේපීයට දිනාගන්නට ලැබෙනු ඇතැයි අනාවැකි පළවී තිබෙනවා. කෙසේ වෙතත් පසු සමීක්ෂණ වාර්තාවලින් පෙන්නුම් කෙරෙන ප්‍රතිඵලය නොලැබෙන අවස්ථා ද ඉන්දියානු මැතිවරණ ඉතිහාසයේ දකින්නට ඇති හෙයින් මේ පිළිබඳ සම්පූර්ණ අදහසක් ලබාගන්නට වන්නේ ජූනි 4 වනදා නිල ප්‍රතිඵල නිකුත් වනවිට යි.

මැතිවරණයට පෙර අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබුණේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන් ධානය ආසන 400 ක් වශයෙන් ලබාගැනීම තම අපේක්ෂාව බවයි. හින්දි බසින් ඔහුගේ සටන් පාඨය වූයේ “ආබ්කී බාර්, චාර් සෝ පාර්” (මේ වතාවේ ආසන 400 ඉක්මවනවා) යන්නයි. එයින් ආසන 370 ක් බීජේපීය තනිව ලබාගත යුතු යයි ඔහු කියා සිටියා.

මේ අතර මීට සමගාමීව පැවති සිකිම් සහ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණවල ප්‍රතිඵල ජූනි 2 වනදා නිකුත් වුණා. සිකිම් හිදී සිකිම් ක්‍රාන්තිකාරී මෝර්චා (සිකිම් විප්ලවකාරී පෙරමුණ​) ආසන 32 න් 31 ක් ජයගෙන විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. අරුණාචල් ප්‍රදේශ් හි ප්‍රාන්ත සභා ආසන 60 න් 46 ක් භාරතීය ජනතා පක්ෂය විසින් දිනාගත් අතර ඊට සහය දෙන ජාතික ජනතා පක්ෂයත් ආසන 5 ක් දිනාගත්තා. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය එහිදී ලබාගත්තේ එක අසුනක් පමණයි. ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂයට ආසන තුනක් ලැබී තිබෙනවා.

ඉන්දියානු ඉතිහාසය තුළ මහමැතිවරණයකදී ආසන 400 ඉක්මවා යාමට තනි පක්ෂයක් සමත්ව ඇත්තේ එක් වරක් පමණයි. එය සිදුවූයේ 1984 දී, ඉන්දිරා ගාන්ධි ඝාතනයෙන් පසු පැවති මැතිවරණයේදී යි. එහිදී රජිව් ගාන්ධිගේ නායකත්වයෙන් කොන්ග්‍රස් පක්ෂය ආසන 400 ඉක්මවා ගියා. එහෙත් එය ප්‍රධාන ලෙසම අනුකම්පාව මත සහ ජාතික ආරක්ෂාව පිළිබඳ මතුවූ චකිතය මත ඔවුන් වෙත ලැබුණ ඡන්දයක් බවයි බොහෝ විචාරකයන්ගේ මතය වන්නේ.