hit counter

2025 මැයි මස 14 වන බදාදා

2025 මැයි 14, ප.ව. 1:30



කලක් ලොව දුප්පත්ම ජනාධිපති ලෙස නමක් දිනාසිටි උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපති හොසේ මුයිකා (Jose Mujica) ඊයේ අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහු 89 වැනි වියෙහි පසුවුණා.

උරුගුවේ රාජ්‍යයේ හමුදා පාලනය පැවති සමයෙහි එයට එරෙහිව අරගල කළ වාමාංශික ටුපමරෝස් කැරලි කණ්ඩායමේ සාමාජිකයකු වූ මුයිකා 1970-80 දශකවලදී වසර 14 ක් සිරගතව සිටියා.

පසුකාලීනව මැතිවරණ දේශපාලනයට පිවිසි ඔහු 1994 සිට එරට ව්‍යවස්ථාදායකය නියෝජනය කළා. 1999 සිට එහි සෙනට් සභිකයකු වූ මුයිකා 2005-2008 සමයෙහි උරුගුවේ හි කෘෂිකර්මාන්ත​, පශු කර්මාන්ත සහ ධීවර අමාත්‍ය ධුරය දැරුවා. 2009 ජනාධිපතිවරණයෙන් ජයගෙන 2010-2015 සමයේ උරුගුවේ හි ජනාධිපති ධුරයෙහි කටයුතු කළා.

සරල දිවි පැවතුමක් තිබූ මුයිකා සිය වැටුපෙන් සියයට 90 ක් දුගී ජනතාව උදෙසා කටයුතු කරන පුණ්‍ය සංවිධානයන් වෙත පරිත්‍යාග කළා. ජනාධිපති ධුරය දරන සමයේත් තමන්ගේම ෆෝක්ස්වැගන් මෝටර් රථය පදවාගෙන යාම ඔහුට අමුත්තක් වූයේ නැහැ.

2015 සිට 2020 දක්වා නැවතත් සෙනට් සභාව නියෝජනය කළ ඔහු 2020 දී දේශපාලනයෙන් විශ්‍රාම ගත්තා.