hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 3:59



චීන හමුදාව කුමන්ත්‍රණය කරමින්, රටේ බලය අල්ලා ගෙන ඇති බවත්, සේනාධිනායක ධුරයෙන් නෙරපා දැමුණු ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පසුවන බවත් දැක්වෙන ට්විටර් පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් හමුදා රථ බෙයිජීං අගනුවර වීදිවල සැරිසරන්න වූ බව ද එම ට්විටර් පණිවුඩවල සඳහන් වෙනවා.

චීනයෙන් පිටවන සහ චීනය බලා පැමිණෙන ගුවන් ගමන් සියයට 60 කින් පමණ හදිසියේ අඩු කර ඇති බවත්, චීන රජයේ ඉහළ නිලධාරීන් බොහෝ දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් ට්විටර් පණිවුඩ සංසරණය වී තිබෙනවා.

කෙසේ නමුත්, චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. පසුගිය දා චීන ජනාධිපති ෂී ජින්පින් උස්බෙකිස්තානයේ සංචාරයක නියැළිනි. ඒ, උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර ආරම්භ වුණු ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වෙමින්.

‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වීමෙන් පසු චීන ජනාපධිති ජින්පින් විදේශ සංචාරයකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි.

රුසියන් ජනාපධිති ව්ලැදිමිර් පුටින් මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එම සමුළුවට සහභාගී වූවා.

2020 වසරේ චීන සහ ඉන්දීය හමුදා අතර පැවැති දේශසිමා ගැටුමින් අනතුරුව, ජනාධිපති ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකම සමුළුවකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි.

කෙසේ නමුත් දෙදෙනා අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූයේ නැත.

සමුළුව අවසන් වී, යළි චීනයට පැමිණි ජනාධිපති ජින්පින්, නිවාස අඩස්සියට යොමු කළේ නම්, එසේ කරන්න ඇත්තේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඔහු නිරෝධානයට යොමු විය යුතු නිසා යැයි ට්විටර් පණිවුඩ ඔස්සේ සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය අංශ දැඩි නීතිරිතී පනවා ඇත. විදේශ ගමන් බිමන්වලින් පසු චීනයට පැමිණෙන පිරිස් නියමිත දින ගණනක් නිරෝධානයනට යොමු කිරීම ද සිදු වෙනවා.