hit counter

2025 ඔක්‍තෝබර් මස 18 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 18, ප.ව. 6:25



සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අභිමානවත් සහ ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම වෘත්තීමයභාවය අඛණ්ඩව ආරක්ෂා කර ගත් හමුදාවක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප‍්‍රදානය සහ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම වෙනුවෙන් ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුරේදී අද (18) පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපි දන්නවා අපේ මාතෘ භූමියේ ගුවනේ ආරක්ෂාව රඳා පවතින්නේ ඔබ අතයි. එය සුවිශේෂී සහ අත්හළ නොහැකි වගකීමක්. අපේ මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට පැවරී තිබෙන, ඔබ දෙවුර මත දරා සිටින එම උත්තුංග වගකීම ඔබ නිසි ලෙස ඉටු කරයි කියන විශ්වාසය සහ බැඳීම අපට තිබෙනවා.

ඒ වගේම අපගේ මුහුදු තීරයේ ආරක්ෂාව සහ අවේක්ෂණ කටයුතු සඳහා ඔබ සහාය ලබා දෙනවා. මා විශ්වාස කරනවා වර්තමානයේදී අපිට පැවරී තිබෙන විශාල වගකීම් අතර රාජ්‍යයක් ලෙස අපේ මුහුදු තීරයේ සීමාවන් අවේක්ෂණ කටයුතු සිදු කිරීමත්, එහි ආරක්ෂාව තහවුරු කිරීමත් ඉතා වැදගත්.

ඒ මොකද අපේ මුහුදු සීමාව විශේෂයෙන් නීති විරෝධී සංක්‍රමණිකයන්, ඒ වගේම නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය, මත් කුඩු සහ මෑත කාලයේ අවි ආයුධ පවා රටට ඇතුළු වූ අවස්ථා අපි දැක තිබෙනවා. ඒ නිසා මුහුදු තීරය ආරක්ෂා කිරීම මවුබිමෙත්, මවුබිමේ වෙසෙන ජනතාවගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි. එම අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඔබ නිසි පරිදි ඉටු කරනු ඇතැ’යි අපිට විශාල විශ්වාසයක් තිබෙනවා.

විශේෂයෙන් වර්තමානයේ මත්ද්‍රව්‍ය, ඒ හා බැදුණු අපරාධ සහ ඒ අපරාධ හා සම්බන්ධ වූ දේශපාලනය සහ රාජ්‍ය යාන්ත්‍රණය තිබෙන බව අපි තේරුම් ගෙන තිබෙනවා. එහි ගැඹුර සහ විශාලත්වය අපට මැන ගතහැකියි. එය හුදු මත්ද්‍රව්‍ය ජාවාරමක්, හුදු අපරාධ කල්ලිවල ක්‍රියාකාරිත්වයක් නොවෙයි. එය දේශපාලනය සහ එකට බැඳී තිබෙනවා.

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් කොටස් සෘජුව සහ වක්‍රව ඊට දායක වී තිබෙනවා. අපේ ගම් බිම් කරා එම ව්‍යසනය පැතිරෙමින් තිබෙනවා. ඒ නිසා එම ව්‍යසනය වැළැක්වීමේදී මුහුදේ අවේක්ෂණ කටයුතු ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ඔබ වෙත පැවරෙන්නේ ඒ අවේක්ෂණ කටයුතු නිවැරදිව ඉටු කරමින් මවුබිමේත්, ජනතාවගේත් ආරක්ෂාව සහ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි.

ඒ වගේම අපේ රටේ සිදු වන හදිසි ආපද‍ාවලදී ඔබට පැවරෙන්නේ අත්හළ නොහැකි වගකීමක්. මා දන්නවා පසුගියදා ඇල්ලේ සිදු වූ ඛේදවාචකයේදී ඔබ සිදු කළ මැදිහත්වීම රටම පිළිගෙන තිබෙනවා. ඔබගේ ක්‍රියාකාරිත්වය වැදගත් ක්‍රියාකාරිත්වයක් බව අපි තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසා හදිසි ආපදාවලදී ගුවනින් ලබා දිය යුතු සහාය පැවරී තිබෙන්නේ ඔබ අතයි. එය ඉතා කාර්යක්ෂමව ඉටු කරනු ඇතැ’යි යන බලාපොරොත්තුව අපි තුළ තිබෙනවා.

අද මේ රටේ සියලු වෘත්තීන්වලට වෘත්තීමයභාවයක් අවශ්‍ය වී තිබෙනවා. අද අපේ රටේ බොහෝ වෘත්තීන්වලට අත් වී තිබෙන ඉරණම එතරම් සුබවාදී තත්ත්වයක් නොවෙයි. වෘත්තිය පැවරී තිබෙන්නේ එහි ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි එය ඉටු කරමින් තිබෙන්නේ එහි අනාරක්ෂිතභාවය වෙනුවෙන්. රාජ්‍ය ආයතනවලට නිශ්චිත වගකීමක් පැවරී තිබෙනවා. එම වගකීම පිළිබඳව පුරවැසියන්ගේ බලාපොරොත්තුවක් තිබෙනවා.

පුරවැසියන්ගේ බදු මුදල්වලින් ඔවුන්ට වැටුප් සහ වරදාන ලබා දෙමින් තිබෙනවා. එහෙත් ඔවුන් අතර, වෘත්තිය එම ජනතාවට එරෙහිව මෙහෙය වන අතළොස්සක් සිටින බව අපි දන්නවා. ඒ නිසා අද අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන වෘත්තීමයභාවය සැලකිය යුතු ප්‍රමාණයකින් බිද වැටී තිබෙනවා. එහෙත් අපිට ආඩම්බරයෙන් සහ වගකීමෙන් කිව හැකියි අපේ ගුවන් හමුදාව ඉතාමත් ශක්තිමත්ව තමන්ගේ වෘත්තීමයභාවය ආරක්ෂා කරගෙන තිබෙනවා.

ඒ නිසා සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවයක් සහ නිපුණතාවක් හා ඒ හා බැඳුණු විනයක් සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. ඒ නිසා ඔබට පැවරී තිබෙන්නේ ඉතාමත් වෘත්තීමයභාවයෙන් යුතු වගකීමක්. ඒ වගකීම නිසි පරිදි ඉටු කරනු ඇතැ’යි යන බලාපොරොත්තුවක් අපි තුළ තිබෙනවා. ඔබට පැවරී තිබෙන්නේ ඉතා ඉහළ වගකීමක්. ඔබ දෙස ඔබේ ජ්‍යෙෂ්ඨයින් බලා සිටිනවා.

ඔවුන් වෘත්තීමයභාවයට, ගෞරවයට සහ කීර්තියට භාජනය කරන ලද මෙම සේවාව ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යනු ඇතැයි දැඩි විශ්වාසයක් ඔවුන් තුළ තිබෙනවා. ඒ වගේම ඔබේ දෙමාපියන්, ඥාතීන් ඔබ කෙරෙහි විශාල බලාපොරොත්තුවකින් සිටිනවා. ඒ වගේම මේ රටේ පොදු මහජනතාව ඔබට පැවරී තිබෙන මෙම වගකීම දැඩි කැපවීමකින් ඉටු කරයි කියන බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ සියල්ල හා සමාන ලෙස මමද ජනාධිපතිවරයා ලෙස ඔබ කෙරෙහි ඉතාමත් විශ්වාසයෙන් සහ ගෞරවයෙන් බලා සිටිනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: