hit counter

2024 ජූනි මස 26 වන බදාදා

2024 ජූනි 18, ප.ව. 12:33



Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති මාරාන්තික බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බවත් එම බැක්ටීරියාව දරුණු ලෙස මිනිස් සිරුරට ඇතුළු වුවහොත් පැය 48ක් ඇතුළත මිය යන බව විශේෂඥ වෛද්‍යවරු සදහන් කරයි.

මෙම බැක්ටීරියාව කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි බවත් ජපානයේ ශීඝ්‍රයෙන් පැතිර යන මෙම බැක්ටීරියාවට (16) වනදා ජපනුන් 977ක් ගොදුරු වී සිටින බවත් 2024 ජනවාරි සිට මාර්තු අතර පුද්ගලයින් 77ක් මියගොස් ඇති බවද ජපන් සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මෙම බැක්ටීරියාවට ශරීරයේ මාංසපේශි දියවන බවත් බැක්ටීරියාව මේ වනවිට ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන අතර ඉදිරි මාස හය තුළ තවත් එක්දහස් පන්සියයකට පමණ රෝගය ව්‍යාප්ත විය හැකි බවට එරට සෞඛ්‍ය අංශ පුරෝකතනය කරයි.

මෙම බැක්ටීරියාව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවිය හැකි බවත් උගුර තුවාල වීම, අතපය වේදනාව, අඩු රුධිර පීඩන තත්ත්වයක් ඇති වීම, සිරුරේ අවයව ක්‍රියාකාරීත්වය අඩපණවීම හා සිරුර ඉදිමීම ආදිය එහි රෝග ලක්ෂණ බවද එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.

කෙසේ වෙතත් ජපාන සංචාරකයන් මෙරට සංචාරය සඳහා පැමිණීමත් ලංකාවේ සිට ජපානයට යෑමත් ආදී කාරණා නිසා මෙම මාරාන්තික බැක්ටීරියාව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබීමත්, සෞඛ්‍ය අංශයේ කඩා වැටීමත් යන කාරණා සලකා බලන විට පැය හතළිස් අටකින් මියයා හැකි මෙවැනි බැක්ටීරියාවක් රටට ඇතුළු වීම වළක්වාලීමට සෞඛ්‍ය බලධාරීන් වහා පියවර ගත යුතුව ඇතැයි වෛද්‍යවරු සදහන් කරයි.

මෙය ගෝලීය වසංගත තත්ත්වයකට පත්ව නොමැති බැවින් ශ්‍රී ලංකාවේ අය මේ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වමල් විජේසිංහ සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: