hit counter

2025 නොවැම්‍බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:11



වත්මන් ආණ්ඩුව විසින් මහා භාණ්ඩාගාරය තුළ රුපියල් ට්‍රිලියනයක පමණ මුදලක් ඉතිරිව ඇති බවට සිදුකරන ප්‍රකාශ, ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්තවලට පටහැනි, පිළිගත නොහැකි හුදු කතන්දරයක් පමණක් බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා, ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ව්‍යුහය තුළ භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවීමක් සිදුවිය නොහැකි බව පෙන්වා දුන්නේය.

මෙරට ආර්ථිකය මුහුණ දෙන ප්‍රධානතම ජාතික ගැටලු දෙකක් පවතින බව විස්තර කළ ගුණවර්ධන මහතා, ඉන් පළමුවැන්න රජයක් එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හෙවත් රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ (වර්තන ගිණුමේ) හිඟය බව පැහැදිලි කළේය.

ඔහු පෙන්වා දුන්නේ 1950, 1951 සහ 1977 යන වසර තුන හැරුණු විට, ආර්ථික අර්බුදය උච්චතම අවස්ථාවට පත්වන තෙක් මෙන්ම වර්තමානයේදී ද රජයට සිය පැවැත්ම සඳහා සරිලන ආදායමක් උපයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

“රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ මෙවැනි හිඟයක් පවතින පසුබිමක භාණ්ඩාගාරයේ කිසිදු ඉතිරියක් සිදු නොවේ,” යැයි සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, කවර පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් වුවද, එදිනෙදා වියදම් පියවා ගැනීමට ආදායමක් නොමැති බැවින් දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමට සිදුවන බව කියා සිටියේය.

මේ අනුව, ඉතිහාසයේ ණය නොගත් ආණ්ඩුවක් නොතිබූ බවත්, අනාගතයේදී ද ණය නොගෙන රට පාලනය කරන ආණ්ඩුවක් බිහි නොවන බවත් ඒ මහතාගේ අදහස විය.

වත්මන් රජය විසින් ඉදිරිපත් කරනු ලබන අණ පනත් හරහා උත්සාහ දරන්නේ රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක් හෝ ඊට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට බව ගුණවර්ධන මහතා පැහැදිලි කළේය.

රජයේ ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සිදු කිරීමෙන් අනතුරුව, පොලී වියදම් හැර ඉතිරි වන ප්‍රාථමික ගිණුමේ සියයට 2.3ක අතිරික්තයක් පැවතිය ද, ණය සඳහා පොලී ගෙවීමෙන් පසු නැවතත් ජංගම ගිණුමේ හිඟයක් නිර්මාණය වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් විස්තීරණ ණය පහසුකම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළව සකස් කළ නීතිමය රාමුව තුළින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය දැඩි විනයකට හා බැඳීම් රැසකට යටත් කර ඇති බවද හිටපු අමාත්‍යවරයා සිහිපත් කළේය.

මෙම තත්ත්වය යටතේ, වත්මන් රජය 2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය, 2024 වසරේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන දෙවන අයවැය ලෙස සැලකිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර, අයවැය සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පුළුල් හා බුද්ධිමය සංවාදයක් ගොඩනැගීමේ අරමුණින් තමන් විසින් රචිත කෘතියක් එළිදැක්වීමට කටයුතු යොදා ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අනාවරණය කළේය.

“අයිඑම්එෆ් ප්‍රකීර්ණ විසඳුම්” නමින් රචනා කර ඇති මෙම කෘතිය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් එළඹ ඇති ගිවිසුම් හා කොන්දේසි පිළිබඳව ජනතාව, මන්ත්‍රීවරුන් සහ විද්වතුන් දැනුවත් කිරීමේ අරමුණින් ලියා ඇත. එය එළඹෙන 17 වැනිදා පස්වරු 5.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: