hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 14, ප.ව. 4:30



පේරාදෙණිය විශ්වවිද්යාලය හා ඉංජිනේරු පීඨය යා කරමින් මහවැලි ගංගාව හරහා ස්ථාපිත කොට ඇති අක්බාර් පාලමේ බැඳ තිබූ දැවැන්ත බඹර වද 32 ක් ඉතාමත් ආරක්ෂිතව කපා ඉවත් කිරීමට මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානය පියවර ගත්තා.

මිනිසෙකුට හෝ සතෙකුට පවා පහසුවෙන් ළඟාවිය නොහැකි ආකාරයෙන් මහවැලි ගං මට්ටමේ සිට අඩි 150ක් පමණ ඉහළින් අක්බාර් පාලමේ යට පෙදෙසේ මෙම බඹර වද බැඳ තිබූ අතර බිගු සම්පත සුරැකීමේ සංවිධානයේ සාමාජිකයෝ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් ඉතාමත් ආරක්ෂාකාරීව තාක්ෂණය උපයෝගී කරගනිමින් දැඩි වෙහෙසක් දරා එම බඹර වද ඉවත් කිරීමට පියවර ගත්තා. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය තවත් කෙටි කලකින් පැවැත්වීමට නියමිත අතර උපාධි ප්‍රදානෝත්සවය සඳහා විශ්ව විද්‍යාල සිසුන් දෙමාපියන් ඇතුළු 25.000 ක් පමණ පිරිසක් එදිනට විශ්ව විද්‍යාල භූමියට එක්රොක් වෙනවා.

මෙම බහුතරයක් පිරිස් අක්බාර් පාලම හරහා තම ගමන් පහසුව සලසා ගන්නා අතර එම අවස්ථාවේ පාලම යම්කිසි ආකාරයකට කම්පනය වීම හේතුවෙන් එහි යට බඹර වද බැඳ සිටින බඹරුන් ඇවිස්සී දෙමව්පියන්ට මෙන්ම සිසුන්ටද පහරදීම පසුගිය කාලයේ නිරන්තරයෙන් සිදු වුණා.                                                                               

මේ හේතුවෙන් විශ්ව විද්යාල පාලනාධිකාරිය බිගු සම්පත සුරැකීමේ සංවිධානයේන් සිදුකළ ඉල්ලීමකට අනුව එම සංවිධානය විසින් වසර ගණනාවක සිට විශ්ව විද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයට පෙර මෙම බඹර වද ආරක්ෂිතව ඉවත් කිරීම සිදු කරනවා.                                                                   

එම සංවිධානයේ සභාපති හා ප්‍රධාන තාක්ෂණික නිලධාරී මහින්ද විජේසිංහ හා ප්‍රධාන ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට ඇතුළු සාමාජිකයෝ අදාළ ස්ථානය වෙත ගොස් දැඩි වෙහෙසක් දරා එම බඹර කූඩු වෙත ළංවිය හැකි ආකාරයෙන් පලංචි සකස් කොට බඹරුන්ට හානි නොවන පරිදි ඉතාමත් සූක්ෂමව මෙම බඹර වද ඉවත් කිරීමේ ක්රියාවලිය මේ මස 13 හා 14 දෙදින පුරා සිදු කළා.                                      

මෙම බඹර වද මහවැලි ගං මට්ටමේ සිට අඩි 150ක් පමණ ඉහළින් බැඳ තිබූ බැවින් බිගු සම්පත සුරැකීමේ සංවිධානයේ සාමාජිකයෝ එම අවදානම තමා වෙත ගනිමින් ඉතාමත් අපහසුවෙන් අදාල ස්ථාන කරා ළඟාවී කිසිවෙකුට හෝ අනතුරක් නොවන ආකාරයෙන් එම බඹර වද ඉවත් කළ අතර දැඩි අවදානමක් ගනිමින් වුවද ඉතාමත් සූක්ෂමව තාක්ෂණයට අනුව එම කටයුත්ත සිදු කළ බැවින් මෙම ක්‍රියාවලියේදී බඹරුන්ට මෙන්ම කිසිවෙකුට හෝ හානියක් සිදු නොවූ බවත් මේ ආකාරයෙන් බිඟු සම්පත ආරක්ෂා නොකළහොත් ඉදිරියේදී ලොව පුරා දැවැන්ත ආහාර අර්බුදයක් උද්ගත විය හැකි බව එම සංවිධානයේ ප්‍රධාන ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මහතා පැවසුවා.                                 

මෙහිදී අදහස් පළ කළේ බිගු සම්පත සුරැකීමේ සංවිධානයේ ප්රධාන තාක්ෂණ නිළධාරී මහින්ද විජේසිංහ කියා සිටියේ ඇතැම් පුද්ගලයෝ මී මැසි, බඹර වද කපා පැණි ලබා ගන්නා අවස්ථාවේදි මෙම බිඟුන් ගින්දරින් පුච්චා විනාශ කොට එම කටයුත්ත කරන බවයි.

මේ ආකාරයෙන් බිඟු සම්පත විනාශ කිරීම ඉතාමත් භයානක කටයුත්තක් බව සඳහන් කළ ඒ මහතා කියා සිටියේ මෙවන් කටයුතු හේතුවෙන් මේ වන විට ලෝකයේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බිගු සම්පත සීග්‍ර අඩුවීමකට ලක් වෙමින් පවතින බවත් මෙම සතුන්ට හිංසාවක් පීඩාවක් නොකරන්නේ නම් උන් කිසිවිටෙක පහර නොදෙන බවත්ය.

මෙම තත්ත්වය ඉතාමත් අනර්ථකාරී තත්ත්වයක් බවත් මෙම බිඟු සම්පත ලොවෙන් තුරන් වුවහොත් මිනිසාට ආහාර නොමැතිව  බඩගින්නේ මිය යාමට සිදුවන බවත් සඳහන් කළ ඒ මහතා කියා සිටියේ ලොව බොහෝ රටවල් බිගු සම්පත ආරක්ෂා කිරීම සඳහා මේ වන විට විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.                                                             

දිවයිනේ ඕනෑම ප්රදේශයක අනාරක්ෂිත ආකාරයෙන් පිහිටා ඇති මී මැසි, දෙබර, බඹර කූඩු ආරක්ෂිත ආකාරයෙන් කඩා ඉවත් කිරීමට තම සංවිධානය පියවර ගන්නා බවත් ඒ මහතා සඳහන් කළා.                                                               

මෙම බඹර ඉවත් කිරීමේ අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ගුරු සිසු පිරිසක්ද එක්ව සිටියා.