hit counter

2025 ජනවාරි මස 01 වන බදාදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:02



විදේශයක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයෙකු මුල්ලේරියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මෙම ව්‍යාපාරිකයාට ජංගම දුරකථනයෙන් අමතා රුපියල් ලක්ෂ 20 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

පසුගිය 19 වැනිදා පස්වරුවේ අදාළ පුද්ගලයා විසින් කප්පම් මුදල් ඉල්ලා මරණ තර්ජනය කළ බවට මුල්ලේරියාව පොලීසියට මෙම ව්‍යාපාරිකයාගෙන් පැමිණිල්ලක් ලැබී තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ.

අදාළ පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනයේදී ඇමතුම ලබාදුන් පුද්ගලයා ඊයේ පස්වරුවේ අංගොඩ – දෙල්ගහවත්ත ප්‍රදේශයේදී මුල්ලේරියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමග කප්පම් මුදල ඉල්ලූ දුරකථනයේ සිම් කාඩ්පතද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 51 හැවිරිදි අංගොඩ – දෙල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙවැනි තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලදහොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය තවදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ.