hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 26, පෙ.ව. 8:26



වත්මන් ආර්ථික අර්බුදය සදහා හේතු සාධක මෙන්ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කර තිබෙනවා.

ආර්ථිකය මෙහෙය වූ කිහිපදෙනෙකුගේ තීරණ නිසා මුළු මහත් රටක් අද සුවිසාල අර්බුදයකට පත්ව ඇති බැවින් අපරාධයක් සේ සලකා කඩිනමින් මේ පිළිබදව පරීක්ෂණය කළ යුතු බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නා.

විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද පරීක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා මහබැංකුව කෝප් කමිටුව හමුවට ඊයේ ( 25) කැදවූ අවස්ථාවේදී කෝප් සභාපතිවරයා මෙම නිර්දේශය ලබා දුන්නා.

ණය තිරසර නෑ

මෙම ආර්ථික අර්බුදය නිර්මාණය වීමේ මූලික කරුණු පිළිබද විමසීමේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ 2020 මාර්තු – අප්‍රේල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ණය පහසුකම් ලබා ගැනීමට යාමේදී ඔවුන් ලිඛිතව දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඒවන විට ණය තිරසර බව ( Debt Sustainability) නොමැති බවයි.

එබැවින් ණය පහසුකම් ලබා ගැනීමට නම් පවතින ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව එවකට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ මහබැංකු අධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් ඒ මහතා පැවසුවා.

මේ අනුව මුදල් පනත යටතේ අදාළ තාක්ෂණික සාකච්ඡාවලින් පසු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට අදාළ තාක්ෂණික කාරණා නිර්දේශකර යැවූ බවත් අදාළ තීරණ ගනු ලබන්නේ මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් බවත් මහබැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

කබ්රාල් ඇත්ත වහලා

එවකට මුදල් අමාත්‍යවරයා කිසි විටකටත් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය නොකළ බවත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළ කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට දැනුම් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සඳහන් කළේ.

එසේම 2019 නොවැම්බර් වන විට IMF වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමේ පැවති බවත් අනතුරුව ජනාධිපතිවරණයෙන් මාස කිහිපයකට පසුව IMF වාර්තාවට අනුව ලංකාවේ ණය තිරසර නොවන බවත් දැනුම් දුන් බව පෙන්වා දුන්නා.

එවකට ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රුපියල් බිලියන 600ක බදු අඩුකරගැනීමක් සිදුවූ බවද මීට පෙර IMF වාර්තාව මගින් බදු ආදායම අඩුකර නොගන්නා ලෙස උපදේශයක් ලබා දී තිබියදී මෙවැනි තීරණයක් ගත්තේ කවුරුන්ද යන්නත් ඒ මහතා විමසුවා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේ නව ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත්බවයි.

විනිමය අනුපාතිකයට කරපු දේ

පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රදවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමිවීම පිළිබදව සමාජයේ පවතින මතය ගැන මෙහිදී කමිටුව විමසා තිබෙනවා.

මේ පිළිබඳ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බව මහබැංකු අධිපතිවරයා පැවසූ අතර එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ මහත්මිය පැවසුවේ මහබැංකු සංචිත යොදා ගනිමින් මෙම විනිමය අනුපාතය ආයාසයෙන් රදවා තබා ගැනීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් තමා සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන මහතා එය ලිඛිතව දැනුම් දුන් බවයි.

නමුත් මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුගේ මතය අනුව විනිමය අනුපාතිකය එකම අගයක රදවා තබා ගැනීම සිදුවූ බවත් එවකට මහබැංකු අධිපතිවරයා වූ මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ පත්කරන ලද සාමාජික සමන්ත කුමාරසිංහ යන මහත්වරුන්ගේ අභිමතය පරිදි මෙය සිදුවූ බවද මෙහිදී අනාවරණය වුණා.

බාහිර පාර්ශවවල බලපෑමෙන් තොරව නිවැරදි තාක්ෂණික කරුණු මත පිහිටා තීන්දු තීරණ ගැනීමේ බලය මහබැංකුව වෙත ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් කමිටුව අවධාරණය කළා.

එසේම වත්මන් අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට අදාළ විසදුම් පිළිබදව ද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම දක්වා යන ගමනේදී ඉදිරි මාස 3-4 ක කාලය සදහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම තරමක් අසීරු වුවද කෙසේ හෝ එම අභියෝගය ජය ගැනීමට උත්සහ කරන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

වත්මන් ආර්ථික අර්බුදය තුළ පවතින ඉන්ධන හිගය ඇතුළු ගැටලු හමුවේ අවම රාජ්‍ය සේවක සංඛ්‍යාවකින් රාජකාරි පවත්වාගෙන යාම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කොට ඉදිරි සති 3 සදහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් වහාම සකස් කරන ලෙසද කෝප් සභාපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නිර්දේශ කළා.

වත්මන් අර්බුදය විසදා ගැනීම සදහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිදු කරන මෙහෙය පිළිබදව ද කෝප් සභාපතිවරයා මෙහිදී සිය ප්‍රශංසාව පළ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: