hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 02, පෙ.ව. 11:10



ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන ලෙස කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේදී නිර්දේශ කර තිබෙනවා.

ඒ මහතා මෙම නිර්දේශය සිදු කළේ  2022 මැයි 13 දින වන විට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හා එම හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියෝජනය කරන නිලධාරින් පසුගිය 31 වැනිදා කෝප් කමිටුවට කැඳවා තිබූ අවස්ථාවේදීයි.

ඉන්දියානු ණයට වෙච්ච දේ

කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉන්දියානු ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක මුදල් ආධාර ලැබී තිබුණ ද 2022 අප්‍රේල් 22 වන විටත් අමාත්‍යංශ ඖෂධ උප කමිටුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 55.5 ක් පිරිවැය වූ වෛද්‍ය උපකරණ සැපයුම් තොග සඳහා පමණක් නිර්දේශ ලබා දී තිබූ බවයි.

එය එම ආධාර මුදලින් 28% ක් වූ බවත් 2022 මැයි 18 දින වන විට ඇමරිකානු ඩොලර් මිලියන 92.9 ක් වූ ඉන්වොයිස් පමණක් නිර්දේශ කර තිබූ බවත් මෙහි දී සභාපතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.

රටේ අත්‍යාවශ්‍ය ඖෂධ හිගයක් පවතින අවස්ථාවක කඩිනමින් මෙම මුදල් භාවිතා කර අවශ්‍ය ඖෂධ ලබාගැනීමට කටයුතු කළ යුතු බව මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන්නා.

විශේෂයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ හිගය රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක් වන බැවින් පවතින මෙම ගැටලු සහගත තත්ත්වයන් කඩිනමින් විසඳාගෙන ඉක්මනින් අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාවට ලබාදීමේ අවශ්‍යතාවය මෙහිදී කෝප් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඇමති මාරුව හේතුවක්

මේ අනුව ඉක්මනින් අවශ්‍ය කටයුතු සිදුකොට මෙම මුදල් යොදවා අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීමට කටයුතු කරන ලෙස කෝප් සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට නිර්දේශ කළා.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු සිදුකරීමට කටයුතු කරමින් සිටින බවත් වර්තමානය වන විට එම කටයුතු අවසන් අදියරේ පවතින බවත්ය.

මේ නිසා අත්‍යවශ්‍ය ඖෂධ මෙම මුදල් වලින් ලබා ගැනීමට කටයුතු කරන බවත් විශේෂයෙන්ම අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙම කාල සීමාව තුළ පත්වීම හේතුවෙන් ද මෙම කටයුතු ප්‍රමාද වූ බවත් එම නිලධාරීන් සඳහන් කළා.

තවද ඉන්දියානු ණය ආධාර වලට අමතරව ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති ලෝක බැංකු ණය ආධාර ක්‍රමය (WB), ලෝක සෞඛ්‍ය සංවිධාන ආධාර (WHO), ආසියානු සංවර්ධන බැංකු ආධාර (ADB) සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ආධාර හැකි ඉක්මනින් යොදවා නොගැනීම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාක්ච්ඡා කර තිබෙනවා.

ඖෂධ හිඟය පාලනය කර නෑ

විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාරයද ඇතුළුව ලැබී ඇති මෙම සියලු ආධාර මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්මවන බවද ඒවා තවම වැයකොට නොමැති බවද මෙහිදී හඳුනා ගෙන තිබෙනවා.

මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ හැකි ඉක්මනින් අවශ්‍ය පරිපාලන තීරණ සහ අවශ්‍ය අනුමැතිය ලබාගැනීම් කටයුතු සිදු කර මෙම මුදල් යොදවා ඖෂධ මිලදී ගතහොත් 2023 වසරේ මැද වන තෙක්ම ඖෂධ හිඟයක් ඇති නොවන බවයි.

මේ නිසා මේ පිළිබඳ අවධානය යොමුකරමින් කෝප් සභාපතිවරයා සඳහන් කළේ ඖෂධ හිගය වළක්වාගැනීම සඳහා ලැබී ඇති ඇමරිකානු ඩොලර් නිවැරදිව කළමනාකරණය කරමින් ඉක්මණින් යොදවා නොමැති බවයි.

එබැවින් ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් හිඟයක් පැවතී නොමැති බවත් කළමනාකරණය කිරීමේදී ඉක්මනින් එය සිදු නොකිරීමේ ගැටලුවක් මෙහිදී නිරීක්ෂණය වන බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නා.

එසේම ඖෂධ මිලදීගැනීමේදී රුපියල් හිගයක් පැවති බවද පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද සජීවීව මෙම කමිටුව සඳහා සම්බන්ධ කරගනිමින් ඒ පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර හැකි ඉක්මනින් එය විසඳාගැනීමට ද අවශ්‍ය කටයුතු සාකච්ඡා කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: