hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 15, පෙ.ව. 1:12



මේවන විට ඩෙංගු රෝගීන් වාර්තාවන ප්‍රමාණය අනුව රට තුළ අධි අවදානම් කලාප කිහිපයක් ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් මේ වන විට නම් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ එම කලාප වන්නේ,

කොළඹ මහ නගර සභා සීමාව
ගොතටුව 
පිළියන්දල
කඩුවෙල
මහරගම

බත්තරමුල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයන්ය. 

ගම්පහ දිස්ත්‍රික්කයේ, 
වත්තල
මීගමුව
බියගම

රාගම

ජාඇළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ ද අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන්නේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. , කළුබෝවිල ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහනුවර ජාතික රෝහලේය.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මේ වසරේ මැයි පළමු වැනිදා සිට මේ දක්වා ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බවයි.

වසරේ මේ දක්වා ගතවූ මාස 5 තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට අධිකයි.

මේ දිනවල පවතින වැසි තත්ත්වය එක්ක ඩෙංගු සීඝ්‍ර්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඊයේ දක්වා කාලය තුළ ජාතික ඩෙංගු මර්දන ඒකකයට සමස්ත දිවයිනෙන්ම වාර්තා වී තිබුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,656 ක්. මේ දක්වා ඩෙංගු මරණ 20ක් වාර්තා වී තිබෙනවා.

ඒ අතරින් ගෙවුණු සතිය, එනම් මැයි පළමු වනදා සිට 7 වනදා දක්වා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 475 ක්.

දෙවනුවට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වන 412දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, රෝගීන් 136ක් මහනුවර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී තිබුණා.

ඒ අනුව ගෙවුණු සතියේදී පමණක් ඩෙංගු රෝගීන් 1,954 දෙනෙක් මෙරටින් වාර්තා වී තිබූ අතර ඉන් සියයට 51.7ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.