hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13



දැනට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බව සහ එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අඳාළ අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කරයි.

ඔවුන් මේ බව සඳහන් කළේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින්.

තවද ආරක්ෂිත විශේෂාංග වැඩි කොට සකස් කළ නව රියදුරු බලපත්‍රය ද මේ වසරේදී මුද්‍රණය කර නිකුත් කරන බව එම අමාත්‍යාංශ නිලධාරීන් පවසයි.

ඔවුන් කාරක සභාවට දන්වා සිටියේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් මිලියනයක් ලබාගැනීමට ද සියලු කටයුතු සම්පාදනය කර අවසන් බවයි.

ඒ අනුව නිකුත් කිරීමට පවතින රියදුරු බලපත්‍ර වහාම නිකුත් කිරීමට ඒවා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සෑම පළාතකම ස්ථාපිත කිරීමට ද මෙහිදී කාරක සභා සභාපතිවරයා, නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම අවස්ථාවේදී වාහන අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන්ද ඔහු නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇත.

ඒ අනුව මේ වනවිට ඒ සඳහා සැපයුම්කරුවෙක් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර අමාත්‍ය මණ්ඩල අනුමතියෙන් අනතුරුව ‍එම ක්‍රියාවලිය අවසන් කර අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව නිලධාරීන් කාරක සභාවට කියා සිටියා.

එමෙන්ම දැනට ක්‍රියාත්මක මගී ප්‍රවාහනය සම්බන්ධ ඒකාබද්ධ කාලසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

එහිදී කාරක සභා සභාපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් නිසා එහි පවතින අඩුපාඩු හඳුනාගෙන වඩාත් කාර්යක්ෂම සේවයක් මගීන්ට ලබාදීමට ඉදිරියේදී තවත් ප්‍රදේශවලට මෙය හඳුන්වාදීමට සුදානම් බවයි.

තවද මෙම අවස්ථාවේදී ඔහු දුම්රිය මාර්ගවලදී අලි ඇතුන්ට සිදුවන අනතුරු අවමකර ගැනීමේ නියමු වැඩසටහනක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළා.

ඒ සඳහා රුපියල් මිලියන 2.8ක මුදලක් වැය කරමින් මඩකලපුව මාර්ගයේ ධාවනය වන දුම්රියට දුර පෙනෙන තාක්ෂණය සහිත කැමරා සවි කිරීමට කටයුතු කරන බව ද කියා සිටියා.

එමඟින් වන අලි දුම්රියේ ගැටීම් අවම කරගැනීමට පවතින අවස්ථාව පිළිබඳව නිරීක්ෂණය කරන බව කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ප්‍රදේශවල පවතින ගැටලු හා ඒවාට අවශ්‍ය විසදුම් පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: