hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 03, පෙ.ව. 4:05



ශ්‍රී ලංකාව ගත්කල භූකම්පනවල බලපෑම ඉතා අඩු රටක් බවත් එහෙත් වර්තමානයේදී සුළු සුළු භූ චලන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින්ද විටින් විට වාර්තා වෙමින් පවතින බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සමිත් බුද්ධික මහතා සඳහන් කළා.

මොණරාගල හා බුත්තල ප්‍රදේශයන්හි මේ දිනවල වාර්තා වන  සුළු භූ චලනයන් මෙයට හොදම උදාහරණයක් බවත් ශ්‍රී ලංකාව තුල භූමිකම්පා ඇති වීමේ සම්භාවිතාවය ඉතා අඩු වුවද අපගේ වෙරළ තීරයට ඔබ්බෙන් ඇති ඉන්දීය සාගර මුහුදු පත්ලේ ඇතිවන භූකම්පන අපට කිසිසේත් බැහැර කල නොහැකි කරුණක් බවද ඒ මහතා අවධාරණය කර සිටියා.

තවද, අපගේ කුඩා දිවයිනට කිලෝමීටර් එක්දහස් හත්සියයකත් වඩා ඈතින් පිහිටි ඉන්දුනිසියාවේ සුමාත්‍රා ප්‍රදේශයේ ඇතිවූ භූකම්පන හා සුනාමි වල බලපෑම නිසා 2004 වසරේදී තිස්දහසකට අධික පිරිසක් සමඟ ගොඩනැගිලි, පාලම්, දුම්රිය මාර්ග  සහ අනෙකුත් වටිනා සම්පත් මුහුදු රළ අතර සඟවාගෙන අප රටට සිදු වූ ව්‍යසනය අපට අදටත් අමතක කල නොහැකි බවද සඳහන් කළා.

එම හානිය ඇමරිකානු ඩොලර් බිලියනයකට අසන්න වන බවත් 2004 සුනාමියෙන් පසුව අදාල බලධාරීන් විසින් නැවත එවන් ව්‍යවසනයකට මුහුණ දීමට හා එවන් අවස්තාවක සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට විවිධ නීති හා පනත් කෙටුම්පත් සම්මත කලදඅද වනවිට ඒවා ක්‍රියාත්මක වන්නේද නැතිද යන්න  ගැන ඇත්තේ බරපතල ප්‍රශ්නයක් බවද කියා සිටියා.

ශ්‍රී ලංකාව ගත්කල ගොඩනැගිල්ලක් ඉදිකිරිමිදී බොහෝවිට එහි හිමිකරු පාදම හා ගොඩනැගිලි ව්‍යුහයේ ශක්තිමත්බව හා ඒ සම්බන්ධ නිසි උපදෙස් ලබාගෙන ඉදිකිරීම් කටයුතුවලට යොමුවීම දෙවනි තැනට දමමින් වැඩි අවධානයක් යොමු කරනුයේ එහි බාහිර සහ අභ්‍යන්තර පෙනුමට බවද සඳහන් කළා.

ගොඩනැගිලි ඉදිකරන්නන්ගේ ඇති නොදැනුවත්බාවය හා ආර්ථික දුෂ්කරතා මේයට හේතුවන සාධකයන් විය හැකි බවත් මහනුවර වැනි ප්‍රදේශවල බෑවුම් සහිත බිමක ඉදිකිරීම් සිදුකිරීමේදී පාදම සහ ගොඩනැගිලි ව්‍යුහයට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්තානයක් බවත් කියා සිටියා.

මේ පිළිබඳව කතිකා කිරීමේ දී මාගේ මතකය දිව යන්නේ 2022 වසරේ දී මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටිම බව ආචාර්ය සමිත් බුද්ධික මහතා සඳහන් කළා.

පසු මධ්‍යම පළාත් දිසාපති, ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් මත පත්කළ විද්වත් කමිටුව මඟින් මහනුවර නගර සීමාවේ ව්‍යුහාත්මක දුර්වලතා ඇති පොදු ගොඩනැගිලි සහ ව්‍යාපාර ස්ථාන හැකි පමණින් හඳුනාගෙන ඒ සඳහා විසදුම් සෙවීමට ගත් උත්සාහයේදී ලබාගත් අත්දැකීම් සමුහයයි.

මෙහෙදී අනාවරණය වූ වැදගත්ම කරුණ වූයේ ව්‍යුහාත්මක දුර්වලතා තිබූ බොහොමයක් ගොඩනැගිලි නිසි අවසරයකින් තොරව ඉදිකරඇති ඒවා බවයි.

තවද, සමහර ගොඩනැගිලි තම අභිමතය පරිදි ඒවායේ හිමිකරුවන් විසින් නිසි තාක්ෂණික උපදෙස් ලබා ගැනීමකින් තොරවම ව්‍යුහය සම්බන්ධ වෙනස්කම් සිදුකර ඇති බවත් ඒ වන විට ද අවදානම් සහිත ප්‍රදේශයන්හි අලුතින් ඉදිවෙමින් තිබු  ගොඩනැගිලිවල පවා ව්‍යුහාත්මක දුරුවලතා රැසක් දක්නට ලැබු බව කථිකාචාර්යවරයා පෙන්වා දුන්නා.

මේ සියල්ල සැලකිල්ලට ගැනීමේදී අවධානය යොමුකල යුතු වැදගත්ම කාරණය නම් මහනුවර නගර සීමාවෙන් පිටත බෑවුම්වල ඉදිකර ඇති ව්‍යුහාත්මක දුරුවලතා  සහිත  ගොඩනැගිලි ප්‍රමාණය නගර සීමාව තුල හඳුනාගත් ප්‍රමාණයට වඩා වැඩි මිස අඩු විය නොහැකි බවද සඳහන් කළා.

අද රටේ ඇතිවී ඇති දුෂ්කර ආර්ථික තත්වය නිසා ගොඩනැගිලි ඉදිකිරීමේ පිරිවැය ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් අද වනවිට අඩු ප්‍රමිතියකට ගොඩනැගිලි ඉදිකිරීමට කොන්ත්‍රාත් කරුවන් සහ හිමිකරුවන් පෙළඹීම  වැළක්විය නොහැකි කාරණයක් බවද අවධාරණය කළා.

මේ කරුණු සලකා බැලීමේදී කිව හැක්කේ මේ ගතවන්නේ අවදානම් කලාපවල ඉදිවන ගොඩනැගිලිවල තත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය වැඩිපුරම යොමු විය යුතු කාලය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

භූචලන අවධානම සැලකීමේදී බෑවුම් ප්‍රදේශවල ඉදිකර ඇති ගොඩනැගිලි සහ මුහුදුබඬ ඉදිකර ඇති ගොඩනැගිලි ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බවත් එසේ නොමැති නම් තුර්කි ජනතාවට මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවට ද ජීවිතවලින් වන්දි ගෙවා සමහර පාඩම් ඉගෙනීමට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇති බවද අවධාරණය කර සිටියා.

එවන් ආර්ථික හා සාමාජීය කඩා වැටීමක් දරා ගැනීමට තරම් අප රට ස්වයංපෝෂිත යුගයක් පසු නොකරන බැව් ද අප තරයේම සිහි තබාගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: