hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 17, පෙ.ව. 12:03



සෞඛ්‍ය සේවකයින් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්‍ෂේප කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත් කරන ලද අනුකාරක සභාවකදී අනාවරණය වී තිබෙනවා.

රෝහල් කළමනාකරණය හා කාර්ය මණ්ඩල කළමනාකරණ පිළිබඳ ඉතිරි විගණන ජේද පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ සභාපතිත්වයෙන් මෙම අනු කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව සියලුම රජයේ ආයතන, ඇඟිලි සලකුණු යන්ත්‍ර ඔස්සේ කාර්ය මණ්ඩල පැමිණීම හා පිටවීම සනාථ කරන ලෙස 2017 වසරේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.08ක් වැය කරමින් ස්ථාපිත කර තිබුණු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 භාවිතයට නොගෙන නිෂ්ක්‍රීය මට්ටමේ පැවතීම පිළිබඳව එහිදී ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සේවකයින්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන අතර නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමට සැලසුම් කර ඇති බවයි.

පොදු ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා දූෂණවලින් තොර සේවාවක් බවට පත්කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් සෞඛ්‍ය සේවයද එක්විය යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන සතු ඉඩම්වල හිමිකම් ඔප්පු, මිනින්දෝරු සැලසුම්, තක්සේරු කිරීම්වල ගැටලු පිළිබඳව මෙන්ම අතරමග නවතා දමා ඇති ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන්ද අනුකාරක සභාව එහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: