hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:15



දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හටගත් අධික වර්ෂාවත් සමග බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් කසළ නොසිතූ ප්‍රමාණයක් ජනනය වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පුවත්පතකට පැවසීය.

එවන් ප්‍රදේශවල, නිවාස හා කඩ සාප්පු ආදී ස්ථානවල විශාල කසළ ප්‍රමාණයක් ජනනය වී ඇති අතර ඒවා තවමත් බැහැර කෙරෙමින් පවතින බව ද හෙතෙම කීය.

ආපදා හේතුවෙන් මේ වන විට කෙතරම් කසළ ප්‍රමාණයක් ජනනය වී ඇද්ද යන්න තවමත් නිශ්චිතව ම කිව නොහැකි බව ද ඔහු සඳහන් කළේ ය.

තවමත් ඇතැම් ස්ථානවලට ළඟා වීමට නොහැකි වීම, පිරිසුදු කිරීම් කටයුතු ප්‍රමාද වීම හෝ ඒවා තවමත් අවසන් නොවීම ආදී ප්‍රායෝගික කාරණා හේතුවෙන් කෙතරම් කසළ ප්‍රමාණයක් ජනනය වූවා ද යන්න නිශ්චිතව ම ගණනය කිරීමක් කළ නොහැකි වී ඇති බව ද හෙතෙම කීය.

කෙසේ වෙතත්, ආපදා සමයේ ජනනය වූ කසළ තොග නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නම් අඩු ම තරමේ මාස දෙකක් හෝ තුනක් ගත විය හැකි බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල මාර්ග තවමත් වාහන ධාවනයට සුදුසු තත්ත්වයට පත් වී නොමැති නිසා ජනනය වූ කසළ එම ප්‍රදේශවලින් ඉවත් කර ගැනීම පවා ගැටලුකාරී වී ඇති බව ද මහාචාර්යවරයා පැවසීය.

ජනනය වූ කසළ තොග බැහැර කිරීම සඳහා පළාත් පාලන ආයතන වෙත ලිහිල් නිර්ණායක ලබා දී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මෙය සාමාන්‍ය අවස්ථාවක නොව ව්‍යසන අවස්ථාවක මහ පරිමාණයෙන් ජනනය වූ කසළ තොගයක් නිසා එය එකවර කළමනාකරණය කර ගැනීම ප්‍රායෝගිකව තරමක දුෂ්කර වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ නිසා මේ කසළ තොග පළාත් පාලන ආයතන මට්ටමින් තාවකාලිකව සුදුසු ස්ථාන සොයා ගබඩා කොට තබා නිසි පියවර ගැනීම සඳහා අවශ්‍ය නිර්ණායක ලබා දී ඇති බව ද මහාචාර්ය තිලක් හේවාවසම් පැවසීය.

ආපදා හේතුවෙන් විනාශ වූ ගොඩනැගිලිවල සහ නිවාසවල සුන් බුන්, භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයේ අවසරය ලත් ස්ථාන වෙත බැහැර කිරීමට උපදෙස් ලබා දී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: