hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 15, පෙ.ව. 10:07



දිස්ත්‍රික්ක රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත පිරිසක් අපහසුතාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (14) පස්වරුවේ පැවසුවා.

ගාල්ල, හම්බන්තොට, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රිකකවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පසුගිය පැය 24 තුළ අධික වාර්ෂාවක් ලැබී ඇති බවත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයට මිලිටීටර 100 අධික වැසි ලැබී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශයෙක් සඳහන් කළා.

කොළඹ නගර ඇතුළු ප්‍රදේශ කීපයකට ඊයේ(14) දිනයේ ද විටින් විට වැසි ලැබුණු බවත් සෙසු ප්‍රදේශවලට ද මඳ වැසි ලැබී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීමෙන් සහ ජලාශවල ජල මට්ටම් ඉහළ යෑමෙන් අවදානම් තත්වයකට පත්ව ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් කියා සිටියා.

අධික වර්ෂාව හේතුවෙන් හක්මන, වලස්මුල්ල සහ වරාපිටිය ප්‍රදේශවල ප්‍රධාන මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

ගංවතුර අවධානමත් සමඟ ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වාරිමාර්ග අධ්‍යක්ෂක එස්.පී.සී.සුගීශ්වර මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

පැය විසි හතර ක කාලයක් දක්වාම මේ අවධානම වලංගු බවත් සමහර විට ඊටත් තවත් පැය විසි හතරක් දක්වා මේ අවධානම දික් කිරීමට සිදුවිය හැකි බවත් සඳහන් කරන්න කැමතියි. මේ ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග හරහා ගමන් කරන මහජනතාවට ගමන් කරන වාහන රියදුරන්ට විශේෂයෙන්ම අතුරු මාර්ග භාවිතා කරන වාහන රියදුරන්ට මේ තත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන්න කියන ඉල්ලීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව හැටියට සිදු කරන්න කැමතියි. නිල්වලා ගඟ ද්‍රෝණියේ පහල ගංවතුර බැමි වලින් ආරක්ෂා කරන ලද ප්‍රදේශ වලට දැනට පවතින වර්ෂා තත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් එම ගංවතුර බැමි උතුරා යාමේ අවධානමකුත් ඇති විය හැකි බව සිහි තබා ගත යුතුයි. හදිසියේ ඇතිවිය හැකි ඉහළ වර්ෂාපතනයකදී මේ ගංගාවල මේ විශේෂයෙන්ම ඉහළ අතු ගංගාවල ජල මට්ටම් ක්ෂණිකව වැඩිවීමේ අවධානමක් පවතින නිසාත්, දිය නෑම වැනි කටයුතු සැලකිල්ලෙන් ඉතා ආරක්ෂිත පියවර සහිතව සිදු කළ යුතු බව අ ඉල්ලා සිටින්න කැමතියි. මහජනතාව ගංවතුර අනවශ්‍ය ලෙස බලන්න යන එක, ඒ වගේම ගංවතුරේ විනෝදාස්වාද කටයුතුවල යෙදෙන්න යන එක අතිශයින් භයානකයි.

නිල්වලා ගඟේ ගංවතුර අවදානම නිසා, දිස්ත්‍රික් වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් තොටමුන, මෝය කට පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.