hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 15, ප.ව. 5:33



මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයට සමගාමීව ඊයේ (14) දින මානව හිමිකම් කවුන්සිලයේ සභාපති, නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ (ජිනීවා පාර්ශ්වය) සම්බන්ධීකාරක හා ජිනීවා හි බ්‍රසීල නිත්‍ය නියෝජිතයා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමඟ සාකච්ඡා පැවත්වා ඇති බව වාර්තා වෙනවා.

මානව හිමිකම් කවුන්සිලයේ සභාපති සහ ආර්ජන්ටිනාවේ නිත්‍ය නියෝජිත ෆෙඩරිකෝ විලේගාස් මහතා සමඟ පැවති සාකච්ඡාවේදී සිය අදහස් පළ කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳව දැනුම්වත් කළ අතර, ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් පළ කළ යුතු සංවේදිත්වය සහ ඔවුන් සතුව පැවතිය යුතු අවබෝධය පිළිබඳව සඳහන් කර තිබෙනවා.

මෙරටට බහුල වශයෙන් ලැබෙන ප්‍රතිචාර සහ ආධාර පිළිබඳව ද ඒ මහතා සිය කෘතඥතාව පළ කළ බවයි වාර්තා වන්නේ.

වත්මන් සමාජ-ආර්ථික ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සුදුසු අවකාශයක් මෙරටට අවශ්‍ය බව අවධාරණය කළ ඒ මහතා වගකීම් සමඟ කටයුතු කරමින් ඉදිරියට යාමේදී දේශපාලනික කටයුතු පිළිබඳව අවධානය යොමු කරන බව යළිදු අවධාරණය කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සම්පාදනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 21 වැනි සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ කටයුතු, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ සිවිල් සමාජය සමඟ සම්බන්ධ වීම  ඇතුළුවශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රමාණවත් සහ සැබෑ ප්‍රගතිය පිළිබඳව ද ඒ මහතා මෙහිදී  අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සෑම රටක්ම තම ඉතිහාසය තුළ දුෂ්කර කාල පරිච්ඡේද පසු කරන බවත්, එකී රටවල් සඳහා විශේෂිත වූ ප්‍රවේශ අනුගමනය කළ යුතු බවත් සඳහන් කළ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහය වීම සඳහා සිය කැමැත්ත පළ කර තිබෙනවා.