hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 07, ප.ව. 3:42



විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය 01 වැනි දා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හම්ඩි මහත්මිය හමුවී තිබෙනවා.

අමාත්‍යවරයා මෙම සාකච්ඡාව අතරතුරදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සහ විශේෂයෙන් ඉන්ධන, ආහාර සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන් නේවාසික සම්බන්ධීකාරක දැනුවත් කර තිබෙනවා.

එමෙන්ම, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් ද සිය ගැඹුරු කෘතඥතාව පළ කර තිබෙන බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි ආයතන පිරිනමන මානුෂීය ආධාරවල වත්මන් තත්ත්වය නේවාසික සම්බන්ධීකාරකවරිය විසින් පැහැදිලි කර තිබෙනවා.

ඊට අදාළව ක්‍රියාත්මක වන අනෙකුත් ආධාර වැඩසටහන්වලට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දෙන හදිසි ආධාරවලට මහ කන්නය සඳහා ලබා දෙන යූරියා මෙන්ම ඖෂධ, බීජ සහ පාසල් දරුවන්ගේ පෝෂණය සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක් ඇතුළත් වන බවද ඇය ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව විස්තර කළ අමාත්‍ය පීරිස් මහතා, ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින්, මේ වන විට රජය නව අයවැයක් සකස් කරමින් සිටින බව ප්‍රකාශ කර තිබෙන බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: