hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 24, පෙ.ව. 12:06



ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට තීරණය කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ඒ සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම පිළිබඳ පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කළේ,

” විරැකියාව අපේ රටේ විශාල ගැටළුවක් වී තිබෙනවා. ඒ අනුව අපි නව සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා බිහි කර දිය යුතුයි. අප ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. මේ රටේ සාමාන්‍ය ජනතාව විශාල ලෙස දුක් වින්දා. රට නැවත දියුණුවෙමින් තිබෙන අවස්ථාවේ අප කිසිවිටෙකත් එම ජනතාව අමතක කරන්නේ නැහැ.

ඒ අනුව ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන අප ක්‍රියාත්මක කළා. දැන් ඔබට ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමිව තිබෙනවා. කිසිවෙකුට යටත්වීමට අවශ්‍ය නැහැ. අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අපි අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා.

දැන් ගොවි ජනතාව වෙනුවෙන් සින්නකර ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. මෙම ප්‍රදේශය සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු 27,000කට අධික ප්‍රමාණයක් ලබාදීමට නියමිතව තිබෙනවා. මෙම ඉඩම් ඔප්පු ලබාදීම කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අදාළ රාජ්‍ය නිලධාරින් සියලුදෙනා ගමට එවීමට අප වැඩපිළිවෙළක් ද අප සකස් කර තිබෙනවා.

එවිට මෙම ඉඩම් ඔප්පු ලබා ගැනීමට ජනතාවට දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  පැමිණීම අවශ්‍ය නොවන අතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ඉඩම් නිලධාරින්, මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුකාරවරයා ගමට ගොස් එම ඉඩම් ඔප්පු ජනතාවට ලබාදිමට කටයුතු කරනවා.

එම වැඩපිළිවෙළ එළැඹෙන සඳුදා ආරම්භ කර කඩිනමින් අවසන් කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. මට තිබෙන්නේ එකම අරමුණයි. ඒ අයිතිය ජනතාවට ලබාදීමයි. එම ලැබෙන ඉඩම් අයිතියා ආරක්ෂා කරගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා‍.”

මඩකලපුව, තිරයිමඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවති උත්සවයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: