hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 29, ප.ව. 2:20



පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් තර්ජන එල්ල වී ඇති බවට පවසමින් විදෙස් ගත වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති දුමින්ද ජයතිලක මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් එල්ලවන තර්ජන හමුවේ තමා දිවයිනෙන් පිටත්ව ප්‍රංශය බලා පැමිණි බවට අදාළ ස්ථානාධිපතිවරයා කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති දුමින්ද ජයතිලක ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙකුට වස දීමේ සිද්ධිය මෙන්ම හරක්කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රැගෙන යාමට සැලසුම් කළ මෙහෙයුම ඇතුළු පරීක්ෂණ රැසක් භාරව සිටියා.

එමෙන්ම ඔහු පසුගිය දින කිහිපයේම සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කළා.

කෙසේ වෙතත් මෙම වැටලීම් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් හමුවේ ඔහුට දිගින් දිගටම පාතාලයෙන් දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ අතර මේ සම්බන්ධයෙන් අනාවරණයක් කළා.

එවන් පසුබිමක මෙරටින් පලා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානී ඉම්රාන්ගෙන්ද ඔහුට මරණ තර්ජන එල්ල වී තිබුණා.

ඒ අනුව ඔහු සිය 7 හැවිරිදි දියණිය හා බිරිඳ රහස් ස්ථානයක සඟවා ප්‍රංශය වෙත ගොස් තිබෙනවා.

ඒ තමන්ගේ සහ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් බවයි ප්‍රංශයේ සිට අදහස් පළ කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති දුමින්ද ජයතිලක මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් වන හඬ පට පිළිබඳ විමර්ශනයක් සිදු කරන බවයි පොලිසිය කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: