hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 16, පෙ.ව. 12:06



රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර, ගොඩගම පිහිටි අදාළ ආයතනයේ හිමිකරු විසින් රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකර, එම රැකියා අවස්ථා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 53ක් ලැබී තිබුණා.

පසුව එම පැමිණිලි අනුව අදාළ සැකකරු වංචාකර ඇති මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 130ට අධිකයි.

අදාළ රැකියා නියෝජිතායතනය මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් වන අතර, එම ආයතනයේ රැකියා බලපත්‍රයේ වලංගු කාලය පෙබරවාරි 29 දිනෙන් අවසන් වී ඇති අතර, යළි එම ආයතනයේ රැකියා බලපත්‍රය අලුත් කර ගැනීමකින් තොරව නීතිවිරෝධි අයුරින් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මෙම ආයතනයට රුමේනියා රැකියා ලබාදීම සඳහා වලංගු රැකියා ඇණවුමක් තිබුණද, පැමිණිලිකරුවන් රැකියා සඳහා යොමුකිරීමට ඔවුන් කටයුතු කර නොමැති බවයි වාර්තා වන්නේ.

පැමිණිලි විභාග කිරිම සඳහා අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකරු කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනතේ අඩංගු බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, විදේශ ගමන් තහනමක්ද පනවා තිබුණා.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: