hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:04



මෙරට සිට මැදපෙරදිග සේවයට යන සේවක සේවිකාවන් අදාළ හාම්පුතුන් විසින් රක්ෂණය කරන ලද එක් රක්ෂණ සමාගමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අසාදු ලේඛනගත කිරීම නිසා, මෙරට සේවක සේවිකාවන් රැසකට එම සමාගමෙන් හිමිකම් ලබා ගැනීමට නොහැකිවී ඇතැයි කමිටු වාර්තාවක් මගින් අනාවරණය කර ඇත.

මැදපෙරදිග කලාපයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් රක්ෂණය කළ යුත්තේ අදාළ රටේ සේවා යෝජකයන් විසින් වන අතර, අදාළ රක්ෂණ කටයුතු සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එම රටවල්වල රක්ෂණ ආයතන වෙතින් මිල ගණන් කැඳවීම සිදු කරන්නේය. ඒ අනුව කාර්යාංශය විසින් අදාළ රක්ෂණ කටයුතු සඳහා සමාගම් පහක් තෝරාගෙන තිබේ. මැදපෙරදිග රටවල හාම්පුතුන් විසින් මෙරට සේවක සේවිකාවන්ගේ රක්ෂණය සිදුකළ යුත්තේ අදාළ රක්ෂණ සමාගම්වලය.

මෙහිදී මෙරට එක් සේවකයකුට හෝ සේවිකාවකට වසරකට ඇමරිකානු ඩොලර් 110ක රක්ෂණයක් ලබාදිය යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මිල නියම කර තිබේ.

මෙම සෑම රක්ෂණයකින්ම ඇමරිකානු ඩොලර් 10ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අය කෙරෙන බවත්, එම මුදල කාර්යාංශයේ සුබසාධක අරමුදලට බැර කෙරෙන බවද අදාළ කමිටු වාර්තාවෙන් තහවුරුවී තිබේ.

වසරක රක්ෂණය සඳහා අනුමත මුදල ඇමරිකානු ඩොලර් 110ක් වූවත්, කුවේට්හි පිහිටි රක්ෂණ සමාගමක් එකඟතාව පළකර ඇත්තේ සියලු පහසුකම් සහිතව ඩොලර් 105 කට රක්ෂණය ලබාදීමටය. මෙම කාරණය මත කාර්යාංශය විසින් එම සමාගම අසාදු ලේඛන ගතකර ඇතැයි ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකුගේ සභාපතිත්වයෙන් පත්කරන ලද කමිටු වාර්තාව සඳහන් කරයි.

මේ සමගම අසාදු ලේඛනගත කිරීම හේතුවෙන්, එහි රක්ෂණය කෙරුණු මෙරට සේවක සේවිකාවන්ගේ හිමිකම් සියල්ල අත්හිටුවා ඇති අතර, මෙම හිමිකම් නැවත ලබා ගැනීම සඳහා අදාළ සමාගම සමග සාකච්ඡා කරන ලෙස කමිටුව විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දී ඇත.

එම සාකච්ඡා අනුව අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි බව අදාළ රක්ෂණ සමාගම පවසන්නේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අදාළ සේවක සේවිකාවන්ට ගෙවීම් සිදුකරන ලෙසද කමිටුව දැනුම් දී තිබේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: