hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 පෙබරවාරි 15, ප.ව. 6:19



මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන් ආරම්භක අවස්ථාවේ යම් උණුසුම් තත්ත්වයක් උද්ගත වුණා.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේද සහභාගිත්වය ඇතිව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා සඳහන් කොට සිටියේ මාධ්‍යවේදීන් සිටී නම් ශාලාවෙන් ඉවත් විය යුතු බවයි. 

මෙම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ  වසන්ත යාපා බණ්ඩාර මහතා කියා සිටියේ මාධ්‍යවේදීන් හට සම්බන්ධීකරණ කමිටුව  ආවරණය කිරීම සඳහා අවස්ථාව නොදීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් බවය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ  වසන්ත යාපා බණ්ඩාර මහතා මෙසේද සඳහන් කළා.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා යටිනුවර හා හාරිස්පත්තුව සම්බන්ධීකරණ කමිටුවලත්  සභාපති ධුරය දරනවා. ඒ මහතා යටිනුවර සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රශ්න කළා ආවරණ කටයුතු සඳහා මාධ්‍යවේදීන් ගෙන්නුවේ නැත්තේ ඇයි කියලා. මහනුවරදි කියනවා මාධ්‍යවේදීන්ට පිටවෙන්න කියලා. මේක හරි අසාධාරණ කතාවක්. මාධ්‍යවේදීන්ට නිදහසේ තමන්ගේ කටයුතු  කිරීමට අවශ්‍ය පසුබිම අපි සකස් කළ යුතුයි. මාධ්‍ය නිදහසට බාධා කරන එකද ප්‍රජාතන්ත්‍රවාදය. අපි මේ තත්වයට දැඩි විරෝධය පළ කරනවා.

මෙහිදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය මගින් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ආවරණය කොට මාධ්‍ය ආයතන වෙත ලබා දෙන බැවින් මහනුවර කමිටුව ආවරණය කිරීම සඳහා පිටස්තර මාධ්‍යවේදීන් අවශ්‍ය නොවන බවත් යටිනුවර මාධ්‍ය ඒකකයක් නොමැති බැවින් පිටස්තර මාධ්‍යවේදීන් සහභාගිවීමේ ගැටලුවක් නොමැති බවත්ය.                                                         

පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ වසන්ත යාපා මහතා කියා සිටියේ, මෙම මන්ත්‍රීවරුන්  තමන්ගෙ ප්‍රතිරූපය පුම්බගන්න වෙනත් ප්‍රචාරක අවශ්‍යතා සඳහා පමණක් මාධ්‍යවේදීන් සහභාගී  කරවාගෙන දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගන්නා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මාධ්‍යවේදීන්  සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී බවත් , රජයේ මාධ්‍ය ඒකක මගින් නිරතුරුවම පවතින රජයක හොඳ පමණක් පෙන්වාදී  වංචා දූෂණ හෝ වැරදි පෙන්වා නොදෙන බවත් මේ හේතුවෙන් රටේ ජනතාවගේ තොරතුරු දැනගනීමේ අයිතියට දැඩි අසාධාරණයක් සිදුවන බවත් මෙම තත්ත්වය දැඩි පිළිකුලෙන් යුක්තව හෙලා දකින බවත්ය.