hit counter

2025 ඔක්‍තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 30, ප.ව. 1:50



හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ජාතික ජන බලවේගයේ කසුන් රත්නායක මහතාට දුරකථනයෙන් මරණීය තර්ජනයක් එල්ල වූ බවට ඔහු විසි හෝමාගම මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සභාපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, ඉකුත් 27 වන දින සිය කාර්යාලයේ “මහජන දිනය” පවත්වමින් සිටියදී, දහවල් 12:30ට පමණ ප්‍රාදේශීය සභාවේ නිල ජංගම දුරකථනයට මෙම තර්ජනාත්මක ඇමතුම ලැබුණු බවයි.

තමන් “හඳයා” ලෙස හඳුන්වාගත් ඇමතුම ලබාදුන් පුද්ගලයා, “උඹ දන්නවනේ සනාට වෙච්ච දේ” යනුවෙන් ප්‍රකාශ කරමින් සෘජුවම මරණීය තර්ජනයක් එල්ල කළ බව සභාපතිවරයා සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මෙම පැමිණිල්ලට අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයාගෙන් මෙන්ම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම තර්ජනාත්මක ඇමතුම අන්තර්ජාල ඇමතුමක් නොව, මෙරට භාවිත වන සාමාන්‍ය දුරකථන අංකයකින් ලබාගෙන ඇති බවයි.

කෙසේ වුවද, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර, අදාළ දුරකථන අංකය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් කැඳවා, ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරන බව එම උසස් පොලිස් නිලධාරියා අවධාරණය කළේය. හෝමාගම මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවයි.