2023 ඔක්තෝබර් 13, ප.ව. 12:28
නාරාහේන්පිට ප්රදේශයේ පිහිටි නිවසකට ගිනිඅවි අතැතිව ඇතුළුවී එහි පදිංචි පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සියලු ම සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේන මහතා ඊයේ ( 12) නාරාහේන්පිට පොලිසියට නියෝග කර තිබෙනවා.
පින්නතැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ කුමාර ධර්මසේන, ඔහුගේ බිරිය හා එහි අධ්යක්ෂවරුන් ඇතුළු දොළොස් දෙනෙකුට එරෙහිව ඇසෙන්ට් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මාලිංග ප්රනාන්දු අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලමින් මහේස්ත්රාත්වරයා මෙම නියෝගය කළ බව සදහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කුමාර ධර්මසේන ඇතුළු වගඋත්තරකරුවන් 12 දෙනෙකුට ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පසුගිය නඩු වාරයේදී අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබුණා.
කෙසේවෙතත් කුමාර ධර්මසේන විදේශගතව සිටීම හේතුවෙන් ඔහු හැර සෙසු වගඋත්තරකරුවෝ ඊයේ අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
කුමාර ධර්මසේන ඇතුළු පිරිසක් ගිනිඅවි ද අතැතිව නාරාහේන්පිට පිහිටි එම නිවසට ඇතුළු වූ බවට නිවසේ පදිංචිකරුවන් වෙනුවෙන් එහි රියැදුරු ඉකුත් අගෝස්තු 17 දින නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර තිබුණා.
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ පොලිසිය ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නොමැති බවයි.
පැමිණිලි පාර්ශවය එම පැමිණිල්ල සිදුකර මාසයකුත් දින තුනක් ගත වූ පසුව මෙම සිද්ධියේ වගඋත්තරකාර පාර්ශවය ද මේ සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මස 19 වන දින පොලිසිය හමුවේ පැමිණිල්ලක් කර තිබෙනවා.
මෙහිදි පොලිසිය විසින් පැමිණිලිකාර පාර්ශවය ඉකුත් 17 දින කර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැති අතර වගඋත්තරකාර පාර්ශවය කළ පැමිණිල්ල පිළිබඳව පමණක් විමර්ශනය කර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය සිය වගකීම පැහැර හැර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියා.
පැමිණිලි පාර්ශවය මුලින් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකර වගඋත්තරකාර පාර්ශවය ඉන් මාසයකුත් දවස් තුනකට පසුව කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පමණක් විමර්ශනය සිදු කළේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳව මහේස්ත්රාත්වරයා විසින් විමසූ අවස්ථාවේදී නාරාහේන්පිට ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ තම පොලිස් ස්ථානය කිසිදු පාර්ශවයකට පක්ෂපාතීත්වයකින් කටයුතු නොකළ බවත් දෙපාර්ශවයක් අතර තිබුණ පැමිණිලි කිහිපයක් නිසා විධිමත් විමර්ශනයක් සිදුකිරීමට කිසියම් කාලයක් ගතවූ බවයි.
මෙම විමර්ශනයේදී අනාවරණය වන ඕනෑ ම පුද්ගලයෙකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට තම පොලිස් ස්ථානය කටයුතු කරන බව ද නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
අදාළ පාර්ශ්ව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරුවන් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එසේ නියෝග කළා.
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස සමග මල්ක දේනෙත්ති හා සමිත දිසානායක යන නීතිඥවරුන් පෙනී සිටි අතර වගඋත්තරකාර පාර්ශව වෙනුවෙන් හර්ෂණ නානායක්කාර හා සුනිල් වටගල ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියා.
2024 දෙසැම්බර් 12, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 12, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 12, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 12, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 12, පෙ.ව. 12:03