hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 23, පෙ.ව. 4:13



බැක්ටීරියාවක් හරහා ඇතිවෙන ලිස්ටීරියෝසිස් හෙවත් ලිස්ටීරියා නම් රෝගී තත්ත්වය ප්‍රතිශක්ති ඌණතා තිබෙන පුද්ගලයින්ට සංකූලතා ඇති කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ ලංකාව තුළ තවමත් ලිස්ටීරියා ව්‍යාප්තවීමක් හඳුනාගෙන නොමැති බවයි.

කෙසේවෙතත් මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව ලිස්ටීරියා පිළිබඳව දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.

“ලිස්ටීරියා රෝගී තත්ත්වය ගැන පසුගිය කාලයේ විවිධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ අතිශ්‍යොත්කියෙන් දේවල් වාර්තා වුණා. ලිස්ටීරියෝසිස් කියන්නේ බැක්ටීරියාවකින් ඇතිවෙන රෝගී තත්ත්වයක්. මේක මහා පරිමාණයෙන් වසංගත තත්ත්වයකින් යන රෝගයක් නෙමෙයි.

“මේක සාමාන්‍යයෙන් කෙනෙකුගෙන් තව කෙනෙකුට පැතිරෙන්නේ ආහාර මගින්. නිරෝගී අයට මේකේ රෝග ලක්ෂණ පහළවෙන්නෙත් නැහැ. හැබැයි කලාතුරකින් සංකූලතාවලට යන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී අය, පිළිකා, වකුගඩු ආදී විවිධ රෝග සඳහා ප්‍රතිකාර ගන්න අය, දිගුකාලීන රෝගී තත්ත්වයන් තිබෙන අය‍ෙ.. ඒ කියන්නේ ප්‍රතශක්ති උණතාවයක් තිබෙනට කලාතුරකින් මේකේ සංකූලතා ඇති වෙන තත්ත්වයක් තිබෙනවා. මේක තමයි මෙම රෝගයේ තත්ත්වය.“

“මේක නිරෝගී බොහෝ දෙනෙකුට සුළු උදරාබාධ තත්ත්වයක් විතරයි. නමුත් ප්‍රතිශක්ති උණතා තියෙන කෙනෙකුට සංකූලතාවලට ගිහින් මොළයේ උණ තත්ත්වයක් ඇති වෙලා කලාතුරකින් මරණය වුණත් සිදුවෙන්න පුළුවන්. ආහාර එම බැක්ටීරියාවට නිරාවරණය වීමෙන් පසු ඒවා ආහාරයට ගත් පසු තමයි මිනිසාට මෙම රෝගය පැතිරෙන්නේ. විශේෂයෙන්ම කිරි ආහාර, කිරි ආශ්‍රිත ආහාර මගින් මේක පැතිරීමේ අවධානමක් තිබෙනවා. “

“ගෝලීය වශයෙන් ගත්තත් මෙහි පැතිරීම ඉතාමත් අවම මට්ටමක තිබෙන්නේ. මිලියනයකට රෝගීන් දශම 1යි 10ත් අතර සංඛ්‍යාවක් තමයි වාර්තා වෙන්නේ. ඒ නිසා මෙය වසංගත තත්ත්වයකට යන අනියත බියක් ඇති කරගන්න ඕන රෝගී තත්ත්වයක් නෙමෙයි. පෙබරවාරි මාසයේ අග සතියේ තමයි ශ්‍රී ලංකාවෙන් පළමු රෝගියා වාර්තා වුණේ. ඔහු මැදි වයසේ කෙනෙක්. සංකූලතා ඇතිවෙලා මොළයේ උණ තත්ත්වයක් ඇතිවෙලා මරණයට පත්වුණා. ඒක ලිස්ටීරියා නිසා සිදුවූ බවට අපි තහවරු කර තිබෙනවා.”

“නමුත් මෑත කාලයේ වාර්තා වෙලා තියෙන්නේ ඉහත කියූ රෝගියා පමණයි. වෙන කිසිම රෝගියෙක් වාර්තාවීමක් නැහැ.නමුත් ශ්‍රී පාදයේ ගිහින් අසනීම වූ තවත් කිහිපදෙනෙකු රෝහල්ගත වෙලා තිබුණා. ඒ අතරින් මරණ දෙකක් වාර්තා වුණා. අපට තිබෙන දත්ත අනුව ඒ මරණ දෙකයි ලිස්ටීරියා අතරයි කිහිම සම්බන්ධතාවයක් හොයාගන්න බැරි වුණා. නමුත් ඔවුන් සම්බන්ධයෙන් පටක පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙනවා.”

“ඒ වගේම ශ්‍රී පාදයේ ගිහින් රෝගී වුණු තවත් පුද්ගලයෙක් මේ වනවිට සුව අතට හැරී සිටිනවා. ඔහුටත් ලිස්ටීරියා කියලා සාක්ෂි නැහැ. ඊට අමතරව කිසිම රෝගියෙක් ලංකාවේ වාර්තාවීමක් නැහැ. දැනට පරීක්ෂා කරපු නියැදිවලින් ලිස්ටීරියා කියලා සැක කරන්න තරම් රෝගීන් වාර්තාවීමක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ ලිස්ටීරියා පැතිරීමක් පිළිබඳ අවදානමක් නැහැ කියලා. අපි පරීක්ෂා කරපු ආහාර සහ ජලය නියැදිවලත් ලිස්ටීරියා කියලා වාර්තාවීමක් නැහැ.”

“ලිස්ටීරියා කියන බැක්ටීරියාව සතුන් අතරත් පැතිරීමක් සිදුවෙනවා. කෑම හරහා එහෙම දෙයක් පැතිරෙන්න පුළුවන්. ලිස්ටීරියා තත්ත්වයේදී මුලින් එන්නේ වමනය, පාචනය, උණ, උදරාබාධයේ සහ ශරීරයේ වේදනාව වගේ දේවල්. නමුත් උදරාබාධයක් කියන්නේ ලිස්ටීරියා ම නෙමෙයි. කොහොම වුණත් තමන් ගන්නා ආහාර, ජලය පිළිබඳව අවධානයෙන් සිටින්න.”