hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 15, ප.ව. 2:07



මහ ජනතාවට තවදුරටත් මේ තරම් විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කළ නොහැකි තැනට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.

ජාතික පුවත්පතකට අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් එම්.පී.කේ මායාදුන්නේ මහතා පවසා ඇත්තේ වසර ගණනාවක් තිස්සේ සිදු වුයේ රාජ්‍ය සේවයේ තනතුරු වලට බදවා ගැනීම නොව රැකියා වලට බදවා ගැනීමක් බවත් එයද පිළිවෙලක් ඇතිව සිදු නොවූ බවයි.

ලේකම්වරයා ජාතික පුවත්පතකට දැක් වූ වාර්තාව සම්බන්ධයෙන් උදාහරණයක් පෙන්වා දෙමින් සඳහා සඳහන් කළේ 2012දී බදවා ගත් පසු යළිත් 2016 දී උපාධිධාරීන් බදවා ගන්නා විට 2013, 2014 හා 2015 වසරවල පිටවූ උපාධිධාරීන් බඳවා ගත යුතු නමුත් සිදුවන්නේ උපාධිය ලබාගත් වසර නොසලකා වයස අවුරුදු 45 දක්වා වන උපාධිධාරීන් බඳවා ගැනීම බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටවන උපාධිධාරීන්ට අමතරව බාහිර උපාධිය හැදෑරූ උපාධිධාරීන්ට හා මෙරට මුදල් අය කර උපාධි පාඨමාලා පවත්වන ආයතන වලින් පාඨමාලා හදාරා ඇති උපාධිධාරීන්ද එහිදී බඳවා ගන්නා බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

තනතුරු නැතුව විශාල පිරිසක් බදවා ගෙන රාජකාරියක් නැති ව සිටින්නට වීමෙන් රාජ්‍ය සේවය පුළුල් වුවද ඵලදායි හා ගුණාත්මක රාජ්‍ය සේවයක් මෙම බදවාගැනීම් වලින් සිදු වී නැති බවත් මේ නිසා රාජ්‍යය වැය බර වැඩි වී ඇතිවා පමණක් නොව රටේ බදු ගෙවන ජනතාවට නඩත්තු කළ නොහැකි රාජ්‍ය සේවයක් ද ඇති වී තිබෙන බවද ඒ මහතා වාර්තාවේ සඳහන් කොට තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය සේවය අවුරුදු 65 වන තුරු දීර්ඝ නොවිය යුතු බවත් සඳහන් කරන ඒ මහතා එයට හේතුව ලෙස සඳහන් කරන්නේ අවුරුදු පතා එකතුවන උපාධිධාරීන් ප්‍රමාණයට අසහනයක් ඇති වීම බවයි.

අවුරුදු 65ක විශ්‍රාම වයස ආපස්සට ගත යුතු අතර මේ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බවත් සඳහන් කරන මායාදුන්නේ මහතා රාජ්‍ය සේවය පෙර කී පරිදිම ප්‍රතිසංවිධානය කිරීම අනිවාර්යයෙන් විය යුතු බවද සඳහන් කර තිබෙනවා.

රජයේ සේවකයන්ට සිකුරාදා දිනවල නිවාඩු ලබාදීමට තීරණය කර ඇත්තේ ඔවුන්ට විවේක ගැනීමට නොව ජාතික ආහාර වැඩසටහන සහාය දීම සඳහා බවයි ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර රජයේ සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා

ඒ අනුව, ලබන සිකුරාදා දිනයේ (17) සිට අදාළ නිවාඩු දිනය ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවා.

අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය, විදුලිය, ආරක්ෂක සේවා, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳහා ඉදිරි මාස 3ක කාලයකට මෙම නිවාඩුව ක්‍රියාත්මක කෙරෙනවා.

දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා පැමිණ ඇති අතර එම තත්ත්වය යටතේ රාජ්‍ය අංශයේ සේවකයින්ට සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ගැටලුවක් වී ඇති බැවින් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පැවසුවේ.

එම දිනය ඉදිරියේදී ඇතිවිය හැකි යැයි අපේක්ෂිත ආහාර හිඟයට පිළියමක් ලෙස ගෙවතු ආශ්‍රිතව හෝ වෙනත් ස්ථානයක කෘෂිකාර්මික කටයුත්තක නිරත වීම සඳහා රාජ්‍ය නිලධාරීන් දිරිමත් කිරීම ද මෙහි අරමුණක් වෙනවා.