hit counter

2025 ජූලි මස 08 වන අඟහරුවාදා

2025 ජූලි 08, ප.ව. 7:28



පසුගිය දිනක අධිකරණ භූමියේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැකකාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඊයේ (07) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේසී සුරසිංහ විජේරත්න සැකකාරියගේ දියණිය වන කොළඹ කුරුඳු වත්තේ පදිංචි හේමාලී විජේරත්න නම් සැකකාරියයි.

පසුගිය සිකුරාදා (04) දින අධිකරණ භූමියේදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියකුට හා සහකාර අධ්‍යක්ෂකවරියකට මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය හා අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

සැකකාරිය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සැකකාරියගේ සිංහල භාෂා හැකියාව සලකා බැලීමට සැකකාරිය පොලිසිවලට දී ඇති කට උත්තර සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙසටද නියෝග කළාය.

මරණීය තර්ජනය කළ අවස්ථාව සටහන් වූ අධිකරණයේ සී.සී.ටී.වී. දර්ශන අල්ලස් කොමිසමට ලබා දෙන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝගයක් ද නිකුත් කළාය.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට හා පොලිස් නිලධාරින්ට අඬන්තේට්ටම් කිරීම හා මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය පනතේ 344 හා 486 වගන්තිය යටතේ වරදක් කිරීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය එක් ‘බී’ වර්තාවක් ගොනුකොට තිබූ අතර, අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කර මානසිකව බලපෑම් කිරිම සම්බන්ධයෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 125 (2) වගන්තිය යටතේ තවත් පැමිණිල්ලක් අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කර තිබිණි.

සැකකාරිය පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසීය.

“ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැකකාර වෛද්‍යවරියක සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන අල්ලස් කොමිසමේ නිලධාරින්ට අඩන්තේට්ටම් කිරීම හා මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා.

පොලිස් නිලධාරීන්ට අඩන්තේට්ටම් කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තිය යටතේ වරදක් වන අතර සැකකාරිය ඉන් ඔබ්බට ගොස් 486 වගන්තිය යටතේ තර්ජන ද එල්ල කර ඇති බව වාර්තා වෙනවා.

කිසියම් විමර්ශනයක් කරන නිලධාරීන්ට මෙලෙස බලපෑම් කිරීම අදාළ පනත් අනුව බරපතළ කරුණක්, මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට අධිකරණයේ සී.සී.ටී.වී. දර්ශන ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

මෙය සමාජයට පූර්වාදර්ශයක් නොවිය යුතුයි. එබැවින් සැකකාරිය විමර්ශන අවසන් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් මෙසේ පැවසීය.

“මට ලැබෙන උපදෙස් අනුව එහෙම දෙයක් වුණේ නෑ. මැය වසර ගණනාවක් විදේශීය අධ්‍යාපනය ලැබූ තැනැත්තියක් ඇයට හරි හැටි සිංහල බෑ. ‘මාව මරන්න හදනවද? මම මැරෙනවා’ යනුවෙන් ඇය පවසා තිබෙනවා.”

“මේ කාරණය මාධ්‍ය මගින් දුටු වහාම සත්‍ය මොකක්ද කියලා අපි අල්ලස් කොමිසමට දැනුම් දුන්නා. ඒ බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරයාට ඊමේල් පණිවිඩයක් මගින් දැනුම් දී තිබෙනවා.

මෙය වරදවා තේරුම් ගැනීමක්. අවුරුදු විසි එකක් වයස මෑ සිටියේ විදේශගත වෙලා. ඇයට හරිහැටි සිංහල භාෂාව කතා කරන්න බැහැ. ඒක නිසා මේක වරදවා තේරුම් ගැනීමක් වෙන්න පුළුවන්.

ඇයගේ තාත්තා මිය ගොස් අවුරුදු ගාණක් අම්මා දැන් බන්ධනාගාර ගත වෙලා. මේ සියලු කාරණා හේතුවෙන් ඇය මානසික ආතතියක් තියෙන තැනැත්තියක්. විදේශයක ගණිතය සම්බන්ධයෙන් උපාධියක් හදාරනවා.

තර්ජනය කිරිමක් වුණා, යැයි උපකල්පනය කරන්නේ නම් ඊට සමාව භජනය කරන්න ඇය සූදානම්, ඊට අමතරව ඇත්ත මොකක්ද කියලා ඇය කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා. ඇය ගැන සානුකම්පිතව සලකා බලා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.”

ඊට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා සඳහන් කර සිටියේ සැකකාරිය කුරුඳුවත්ත පොලීසියට කර ඇති ප්‍රකාශය ඇයගේ වරද පාපොච්චාරණයක් කිරිමක් වැනි ප්‍රකාශයක් බවය.

“ඇය එහෙම ප්‍රකාශයක් කරන්නේ වරදක් කරලා තියෙනවා කියලා හිතෙන හින්දයි. මෙහෙම මරණීය තර්ජන වාචිකව කරන තැනැත්තිය හෙට කොන්තරාත්තුවක් දීලා මේ විමර්ශන නිලධාරින්ට බලපෑම් කළොත්, එම නිසා සැකකාර තැනැත්තිය විමර්ශන අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා” යැයිද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ඇය පාතාලය ආශ්‍රය කරන තැනැත්තියක නොවන බවය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම සැකකාර තැනැත්තියට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දැක්වීය. අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 125 (2) වගන්තිය යටතේ විමර්ශන නිලධාරීන්ට ශරීරිකව, මානසිකව හෝ ඔවුන්ගේ කීර්තියට බලපෑම එල්ල විය හැකි ආකාරයට කටයුතු කිරිම දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

“උඹල මරනවා” යනුවෙන් තර්ජනය කිරිම සම්බන්ධයෙන් අල්ලස් පනතේ වගන්ති ප්‍රකාරව සති දෙකක් ඇතුළත සැකකාරියට එරෙහිව චෝදනා ගොනුකරන බව ද සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා සඳහන් කර සිටියේ ඇයගේ සිංහල භාවිතයේ පවතින අඩුපාඩු නිසා මෙම ප්‍රකාශ කිරීම තර්ජනයක් වී ඇති බවය. සැකකාරිය පොලිසියට ප්‍රකාශ දීමේදී පවා සිංහල භාෂා පරිවර්තනයට නීතිඥවරයකුගේ සහාය ලබාගෙන ඇති බවද සඳහන් කළේය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරින් ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ තර්ජනය පැමිණිල්ල ඉදිරිපත් කළ නිලධාරින් දෙදෙනාම තේරුම් ගත්තේ එකම විදියකට දැයි විමසා සිටියාය.

ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරින් සඳහන් කර සිටියේ සැකකාරියට සිංහල භාෂාව හැසිරීමට අපහසු නම් ඇයට නිතැතින්ම මුවගට ආ යුත්තේ ඉංග්‍රීසි භාෂාව බවය. එසේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා නොකොට පැහැදිලි සිංහලෙන් “උඹල මරණවා” යැයි කීම තර්ජනයක් බව පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාරිය ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. සැකකාරිය පොලීසිවලට දී ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙසද, සැකකාරිය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද නියෝග කළාය.

සැකකාරිය අල්ලස් කොමිසමේ නිලධාරින්ට තර්ජනය කරන අවස්ථාවේ සීසීටීවී දර්ශන අල්ලස් කොමිසමට ලබා දෙන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග නිකුත් කළාය. විමර්ශන ප්‍රගතිය ලබන 09 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.