hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 27, ප.ව. 12:21



කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට පෙරේදා (25) සවස හදිසියේම ඇති වූ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණා.

ඒ අනුව මාලදිවයිනේ මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 116 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත පෙරේදා (25) සවස 06.02 ට ගොඩ බස්වා තිබුණා.

එසේම ගැන් අයිලන්ඩ් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 120 දරන ගුවන් යානය පෙරේදා (25) රාත්‍රී 06.18 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණා.

එමෙන්ම ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 128 දරන ගුවන් යානය පෙරේදා (25) රාත්‍රී 06.46 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණා.

මෙම ගුවන් යානා තුනෙහි  සිටි මගීන් එම යානා වලින්  පිටතට බස්වා නොමැති අතර පෙරේදා (25) රාත්‍රී 07.00 ත් 08.00 ත් කාලය අතර කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් මට්ටමට පැමිණීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණි තිබෙනවා. 

එසේම මෙම තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිත ගුවන් යානා දෙකක් ප්‍රමාද වීම් වලට ලක් වී තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියාවේ ඉන්චියොන් බලා පෙරේදා (25) රාත්‍රී 08.50 ට පිටත්ව යෑමට නියමිතව තිබූ  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරන ගුවන් යානය රාත්‍රී 10.30 වන තෙක් ප්‍රමාද වී කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

එමෙන්ම පෙරේදා (25) රාත්‍රී 06.45 ට ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව යාමට නියමිතව තිබූ  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 171 දරන ගුවන් යානය ප්‍රමාද වී රාත්‍රී 10.45 ට පිටත්ව ගොස් තිබුණා.

එය පැය 04 ක ප්‍රමාද වීමක්.

එසේම ඉන්දියාවේ චෙන්නායි සිට ඊයේ (26) අලුයම 04.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානය මේ වන තෙක් පැමිණ නොමැති අතර එම ගුවන් යානය පැමිණෙන වේලාව මෙතෙක් ප්‍රකාශට පත් වී නොමැත.

කටුනායක – ටී.කේ.ජී.කපිල