hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 04, පෙ.ව. 12:04



මාලිමාව, ජනතා විමුක්ති පෙරමුණ රජය හා එක්ව මිහින්තලා පුදබිම මෙන්ම පොසොන් මංගල්‍යයය විනාශ කිරීම සඳහා දැවැන්ත කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනුවැවේ ධම්මරතන නාහිමියෝ අවධාරණය කරනවා.

මල්වතු මහා විහාරයට පැමිණි උන්වහන්සේ ඊයේ (03) මාධ්‍ය හමුවේ ඉහත අදහස් පල කළා.

මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ නාහිමියෝ මෙසේද සඳහන් කළා. 

“අද වෙනකොට මාලිමාවට සෘජුවම සම්බන්ධ පුරාවිද්‍යා නිලධාරියෙක් තමන්ගේ බලතල අනිසි අයුරින් භාවිතා කරමින් පොසොන් උත්සවය සඳහා මෙන්ම වෙනත් සංවර්ධන කටයුත්තක් සඳහා කිසිදු ආකාරයක ඉඩක් ලබා දෙන්නේ නෑ. හැම වැඩකටම බාධා කරනවා. පොසොන් උත්සවයට සහභාගි වීම සඳහා පැමිණෙන මහජනතාව වෙනුවෙන් ජල නලයක් සවි කරන්න ගියත් , විදුලි බුබුලක් සවි කරන්න ගියත්, කොඩියක් දාන්න ගියත්, වැසිකිළිබටයක්, කාණුවක් දාන්න ගියත් මොනම කටයුත්තක් කරන්න ගියත් මොහු ඊට එරෙහිව කටයුතු කරනවා. මේ පුද්ගලයා රජකාරී අවස්ථාවල පවා මාලිමාවට සම්බන්ධ කටයුතුවල නියැලෙනවා. ජනතා විමුක්ති පෙරමුණට බලයක් නොමැතිව මේ විදියට කටයුතු කරනවා නම් අනුර කුමාරලා බලයට ආවම පන්සලක බුද්ධ පූජාවක්, දානයක් දෙන්න ඉඩ දෙන්නේ නෑ ඒක ස්ථිරව කියන්න පුළුවන්.

මාලිමාවේ නායකයෝ දැනටත් ආගම දහම සම්බන්ධයෙන් කරන ප්‍රකාශ අන්තර්ජාලයේ තිබෙනවා. ආණ්ඩුව ගන්න ඉන්න මේ අය දැම්ම මෙහෙම හැසිරෙනවා නම් ආණ්ඩුවක් ගත්තට පස්සේ මේ රටේ බුද්ධාගමක් ඉතිරි වෙන එකක් නෑ. ඒක අනිවාර්යයි. අපිට කණගාටුව මේ පොසොන් මංගල්‍යයට බාධා කරන්නේ මාලිමාවට සම්බන්ධ සිවුරු පවා හැරපු පුද්ගලයෙක්. අනුර දිසානායකට මම කියන්නේ අපේ පින්කම් කටයුතු, බුද්ධාගමේ කටයුතු අපේ පාඩුවේ කරගන්න ඉඩ දෙන්න කියලයි. එයත් මේ අනුරාධපුරේ මනුස්සයෙක්. එයාගේ දෙමව්පියෝ පවා පොසොන් මංගල්‍යයයට අනුරාධපුරේ එන්න ඇති. ආණ්ඩුව සමඟ එක්ව සිටින මාලිමාවට සම්බන්ධ මිථ්‍යා දෘෂ්ටිකයෝ තමයි ජාතියට මේ අපරාදේ කරන්නේ. 

දැන් ආණ්ඩුව මිහින්තලා රජමහා විහාරයට අයත් පන්සල්, චෛත්‍යය වෙනත් පුද්ගලයන්ට පවරන්න රජය උත්සහ කරනවා. මල්වතු මහා නාහිමියෝ මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කළා. මේ මිහින්තලා පුදබිමට පැවති ආරක්ෂාව සහ රාජ්‍ය සහයෝගය දෙන්න කියලා මල්වතු මහා නා හිමියෝ ජනාධිපතිතුමා දැනුවත් කළා. ඒත් මේ දක්වා කිසිම දෙයක් වෙලා නෑ. ඉකුත් දෙසැම්බර් 10 දින සිට මිහින්තලා පුදබිමට ලබාදුන්න ආරක්ෂාව ඉවත් කළා. දැනට උනත් ඒ තත්ත්වයම තමයි. දැන් රජය පොසොන් මංගල්‍යයට අයවැයෙන් වෙන් කරපු රුපියල් ලක්ෂ 50 දීලා පොසොන් මංගල්‍යයට රජය දායකත්වය ලබා දුන්නා කියලා ඇඟ බේරගන්න තමයි උත්සහ කරන්නේ. ඒ නිසයි මම ඒ මුදල  ප්‍රතික්ෂේප කළේ. මිහින්තලා පුදබිම කියන්නේ ඉඩම් අක්කර දාහක් පමණ තිබෙන පුණ්‍ය භූමියක්. රුපියල් ලක්ෂ පනහෙන් මොනවා කරන්නද මේ මංගල්‍යය පවත්වන්න දළ වශයෙන් රුපියල් කෝටි 02 – 03 ත් අතර මුදලක් යනවා. මේ කටයුතු මේ වන විටත් ආරම්භ කරලා තියෙන්නේ. 

සල්ලි විතරක් මේ ආගමික මංගල්‍යය සඳහා විශාල ශ්‍රමදායකත්වයක් අවශ්‍ය වෙනවා. ඒවා මොනවත් මට ලැබෙන්නේ නෑ. මේ එළඹෙන්නේ 2332 වන පොසොන් මංගල්ලයයි. මේ ආගමික සංස්කෘතික මංගල්‍යය අඛණ්ඩව කර ගැනීම සඳහා සිදුකරන උත්සාහයට තමයි මේ බාධා එල්ල කරන්නේ. කුමන අභියෝග ආවත් මේ පොසොන් මංගල්‍යය දින 14 අපි රටේ ජනතාවගේ සහයෝගයෙන් නියමාකාරයෙන් කරනවා. මිහින්තලා රජමහා විහාර භූමියේ ලයිට් කපපු වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කණ්ඩායමක් එකතු වෙලා රුපියල් ලක්ෂ 40 ගානක් ගෙවලා ඒ බිල ගෙවලා දැම්මා. එදා එතුමා මාධ්‍ය ඉදිරියේ පොරොන්දු වුනා මෙවර පොසොන් පෙරහැර, මිහින්තලා ආලෝක පූජාව, සති පිරිත් දේශනාව එතුමාගේ අනුග්‍රහයෙන් සිදු කරනවා කියලා. නමුත් මේ දක්වා එතුමා මට එක වචනයක්වත් කතා කරලා නෑ. එතුමාට ඒ ලබා දුන් පොරොන්දු අමතක වෙලාද කියලා මාධ්‍යවේදීන් විමසනවා නම් හොඳයි.

දැන් සමහර අය වසර ගණන් ඡන්ද තියන්නේ නැතුව ඉන්න දඟලනවා. තවත් අය 2048 වෙනකම් ඉන්න හදනවා. කටින් බතල හිටවන ට්‍රැක් අවුට් වුනු මේ මුත්තල ටික එළවලා දානකම් රටේ ජනතාවට, රටට සෙතක් නෑ. මේ අය දැන් ආණ්ඩුව,පාණ්ඩුව, බලය, නිලය තියාගෙන ජනතාව පාගාගෙන ඉන්න තමයි හදන්නේ. ඒකට ඉඩ ලැබෙන්නේ නෑ. මේ අය සියලු දෙනා හඳුන්වන්න පුළුවන් නම තමයි ත්‍රස්තවාදියෝ. මේ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත යුතුයි.”

මෙම අවස්ථාවට ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල සාසනරතන හිමියෝ ද එක්ව සිටියා.