hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:02



මෙරට රැඳී සිටින විදේශීය ජාතිකයන් 13 න් දෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා 04 වනදා නියෝග කළේ ය.

ඒ පරිගණක දත්ත පද්ධති හරහා මෙරට ජනතාවගේ බැංකු ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී එම ගිණුම්වල තිබූ රුපියල් කෝටි ගණනක මුදල් වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් ය.

ඒ අනුව සෑම මසකම ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට සිද්ධියට අදාළ තොරතුරු එසේ ලබාදෙන ලෙසට අධිකරණය නියම කෙරිණ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකරුවන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට අධිකරණය මගින් පෙර නඩු වාරයේදී නියෝගයක් නිකුත් කර ඇතත් ඔවුන් එම නියෝගය පැහැර හැර ඇති බැවින් ඔවුන්ට නැවතත් එම නියෝගය ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ ය.

නිර්නාමික සමාගම් තුනකින් වීසා ලබාගෙන මෙම සැකකරුවන් පිරිස මෙරටට පැමිණ ඇති බවත් ඒ අතර පිරිමි පුද්ගලයන් එකොළොස් දෙනෙකු හා කාන්තාවන් දෙදෙනකු සිටින බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දෙන ලදී.

ඔවුන් එසේ වීසා ලබාගෙන මෙරටට පැමිණ ඇත්තේ මෙරට ජනතාවගේ බැංකු පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා සහගතව ලබා ගැනීමේ අරමුණින්ම බවට දැනට සිදු කරනු ලබන විමර්ශනවල දී අනාවරණය වන බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

එම සිද්ධියට අමතරව මෙම සැකකරුවන් පිරිස මෙරට සංසරණය වන අසභ්‍ය දර්ශන විදෙස් රටවල වෙබ් අඩවිවලට විකුණා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීහු සඳහන් කළේ ය.

බොරැල්ල ප්‍රදේශයේ රැඳී සිටිමින් මොවුන් මෙම වංචා සහගත සිද්ධීන් සිදුකර ඇති බවත් ලද තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: