2025 ජූනි 14, පෙ.ව. 12:13
වර්තමානයේ බාල පරපුර එළවළු, පළතුරු පරිභෝජනයෙන් වේගයෙන් ඈත් වෙමින් යන බවත්, පරිසරයේ කෙතරම් පෝෂණීය, ගුණාත්මක එවැනි දෑ දකින්නට ලැබුනත් එමෙන්ම පාසලේ, පෙර පාසලේ කෙතරම් ඒ පිළිබදව දැනුවත් කිරීම් සිදු කළත් දරුවන් එළවළු, පළතුරු වලට ප්‍රියතාවයක් නොදක්වන බවත්, මේ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ප්‍රජාව අවධානය යොමුකරමින් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ආකල්පමය වෙනසක් කඩිනමින් ඇතිකර ගත යුතුව ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ 2025 ජාතික පෝෂණ මාසය වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැත්වූ ජාතික සැමරුම් උත්සවයට එක්වෙමිනි.
සෑම වර්ෂයකම ජුනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෝෂණය සම්බන්ධයෙන් ජයග්‍රහණය කළයුතු අභියෝග වලට මුහුණ දීමට සුදුසුම අමාත්‍යාංශය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනමාධ්‍ය විෂයට සැළකිය යුතු කාර්යභාරයක් පෝෂණ විෂයෙහි ඉටු කිරීමට තිබෙන බව ද, මාධ්‍ය ආයතන මඟින් විකාශනය කරනු ලබන ප්‍රවෘත්ති, විද්වත් වැඩසටහන් පමණක් නොව විකාශනය වන සියලු වැඩසටහන් තුළ පෝෂණය සම්බන්ධයෙන් නිවැරදි පණිවුඩය ජනතාව අතරට ගෙන යාමට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සියල්ලටම ආරාධනා කරන බවත්, ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ගතයුතු බවත්, එවැනි වැඩපිළිවෙළක් වසර කිහිපයක් අඛණ්ඩව දියත් කළහොත් මෙරට පෝෂණය සම්බන්ධ විෂයට අදාළව උපරිම ප්‍රතිඵල ලබා ගත හැකි බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසී ය.
පෝෂණය යන විෂය සෞඛ්‍ය අංශයට පමණක් සම්බන්ධ විෂයක් නොවන බවත්, එය අමාත්‍යාංශ ගණනාවක මැදිහත්වීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර කරගත යුතු විෂයක් බව ද අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් පැවසී ය.
“එළවළු පලතුරු – සුවදෙයි නිරතුරු ” යන කාලීන තේමාව යටතේ මෙවර ජාතික පෝෂණ මාසය ප්‍රකාශයට පත් කර ඇත. මෙම තේමාව යටතේ ප්‍රධාන පණිවුඩ හතරක් හඳුනාගෙන එය සමාජ ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම ප්‍රධාන පණිවුඩ හතර නම්, දිනකට අවම වශයෙන් එළවළු වර්ග දෙකක්, පලා වර්ගයක් සහ පලතුරු වර්ග දෙකක් පරිභෝජනය කරන්න, එළවළු සහ පලතුරු සකස් කිරීමේ දී ඒවායේ පෝෂණ ගුණය ආරක්ෂා වන අයුරින් සකස් කරගැනීම සිදු කරන්න, සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වශයෙන් හැකි සෑම විටම එළවළු සහ පලතුරු ආහාරයට ගන්න සහ දේශීයව අඩු වියදමින් ලබාගත හැකි එළවළු සහ පලතුරු තෝරා ගන්න යන කරුණු වේ.
2025 ජූලි 31, පෙ.ව. 12:17
2025 ජූලි 31, පෙ.ව. 12:10
2025 ජූලි 31, පෙ.ව. 12:09
2025 ජූලි 31, පෙ.ව. 12:07
2025 ජූලි 31, පෙ.ව. 12:06
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25
29-07-25