hit counter

2025 ජූලි මස 29 වන අඟහරුවාදා

2025 ජූලි 29, පෙ.ව. 12:01



මෙරට ජනතාවට වර්තමානයේ දී සපයනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියේ දී  ලබාදීම ප්‍රමුඛ අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Centre) ව්‍යාපෘතිය පිළිබඳව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers – PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවක්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, එහි දී මෙම කරුණු අනාවරණය විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අංශය (Primary Healthcare Unit) විසින් මෙම පුහුණු  වැඩමුළුව සංවිධානය කර තිබුණි.

මෙම වැඩසටහන මගින් මෙරට ජනගහනයෙන් ආසන්න වශයෙන් 10,000 ක් ආවරණය වන පරිදි එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත අතර, මුල් අදියර යටතේ ඉදිරි වසර 03 තුළ දිවයින පුරා මධ්‍යස්ථාන 2000 ක් ස්ථාපිත කිරිමට නියමිතය. මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් මෙම වසරේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 100 ක් පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, 08 දෙනෙකුගේ යුත් කාර්ය මණ්ඩලයක් සහිත ව මෙම මධ්‍යස්ථාන ඉදිරියේ දී සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

මෙම දැනුවත් කිරීමේ වැඩමුළුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ආමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩසටහන වර්තමානයේ මෙරට සෞඛ්‍ය සේවාව ඔසවා තැබීමට අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක් බවයි.

මේ දක්වා මෙරට වැඩිම අවධානය යොමුව තිබෙනුයේ සුපුරුදු පරිදි ද්විතියික හා තෘතීයික මට්ටමේ රෝහල් සංවර්ධනයට බවත්, ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනයට වඩා රෝහලකට මහල් කිහිපයක ගොඩනැගිලි  ලබාදීම දේශපාලනිකව වැදගත් යුගයක් ව පැවැති  බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා අනාගතයේ දී ඊට එහා ගමනක් යෑම සදහා ඉදිරි වසර 03 තුළ මෙම නව වැඩසටහනට ප්‍රවිශ්ථ විය යුතු බව අවධාරණය කරන ලදි.

පැවැති යුගයේ දේශපාලනඥයාට අවශ්‍ය වූයේ තම ආසනයට දිස්ත්‍රික්කයට ලොකු රෝහල් ටිකක් ගෙන එ්ම සහ රෝහල් මට්ටම් ඉහළ නංවා ගැනීම බව පැවසූ අමාත්‍යවරයා වර්තමාන රජය දේශපාලන අවශ්‍යතාව මත රෝහල් උසස් ශ්‍රේණී ගත නොකරන බවත්, ජනතා අවශ්‍යතාවයට මුල් තැන දෙමින් එම කටයුතු ජාතික අවශ්‍යතාව සලකා පමණක් සිදු කරන බව ද පෙන්වා දුන් අතර,  සෞඛ්‍ය සේවාවේ සිදුවිය යුතු ගුණාත්මක හා ප්‍රමාණාත්මක පරිවර්ථනය සිදු විය යුත්තේ ආයතන කේන්ද්‍ර කරගෙන නොව පුරවැසියා කේන්ද්‍ර කර ගෙන බව ද පැවසී ය‍.

පසුගිය වසර 08 ක්  වැනි කාලය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ද බලාපොරොත්තු ඉලක්කයන්ට ළඟා විය නොහැකි වී ඇතැයි ද ඊට හේතුව ලෙස තිබෙන ආයතනම භාවිතා කරමින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යාම තුළ  එහි දී එක් ඒකකයකින් ප්‍රතිලාභ ලැබූ පිරිස ඉතා ඉහළ අගයක් ගැනිම නිසා එම වැඩසටහන් අසාර්ථක වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ඒ අනුව නිශ්චිත ජන සංඛ්‍යාවේ සීමාවකට මෙම නව මධ්‍යස්ථාන ලබා දිය යුතු බවත්, ඊට අවශ්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන්, ජාත්‍යන්තර සංවිධාන වලින් සහ පුද්ගලික පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන බව ද පැවසී ය. මෙරටට ප්‍රාථමික සත්කාර ඒකක 2000 ක් පමණ අවශ්‍ය වන බවත්, ඊට අදාළ කටයුතු ඉදිරි වසර 03 තුළ සිදු කරන බවද ජනතාවට පුරුදු, ජනතාව සංසරණය වන, ජනතා ආකර්ශණීය  ස්ථාන පමණක් එහිදී තෝරා ගැනීමට උත්සුක වන බව ද  පැවසී ය.

මෙය මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පරිවර්ථනයක්, ශක්තිමත් අඩිතාලමක් බවට පත්වනු ඇතැයි මෙහි දී අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. එහි දී  කොතරම් වේගයෙන් එය සාර්ථකවේ ද, නොවේ ද යන්න තීරණය වෙන්නේ භෞතික සම්පත් හා තාක්ෂණයට වඩා මූලිකත්වය ගන්නා මානව සම්පත මත බව ද  මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා වයස්ගත ජනගහනය, මානසික සෞඛ්‍ය, සියදිවි නසා ගැනීම් ඉහළ යන බැවින් එම තත්ත්වයන් පාලනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පාලනයේ පැවතිය යුතු බව ද අවධාරණය කරන ලදි. ජනතාව ප්‍රාථමික ප්‍රතිකාර සේවා සඳහා මෙම මධ්‍යස්ථානවලට යොමුවීම හරහා ද්විතීයික හා තෘතීයික රෝහල්වල තදබදය අවම වන බව ද පැවැසී ය.

මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ට ප්‍රමුඛත්වය ලබා දී අවශ්‍ය පහසුකම් ක්‍රමාණුකූලව ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බවත්, සේවාවේ අනිකුත් ගැටළු සඳහා ද විසදුම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත්, ඉදිරියේ ප්‍රවාහන ගැටළුවට පිළියම් යොදමින් ලබන වසරේ මුල් මාස 03 ඇතුළත යතුරු පැදි ලබාදීමට සහ ප්‍රවාහන දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

මෙම මධ්‍යස්ථාන තුළ  බෝනොවන රෝග එ්කක, මුලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සත්කාර, මානසික සෞඛ්‍ය, පෝෂණ සත්කාර, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා, තරුණ හා නව යොවුන් සත්කාර, තෝරාගත් රසායනාගාර පරීක්ෂණ, ප්‍රජා බලගැන්වීම ආදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල මට්ටමින් 200 කට අධික මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් මෙම වැඩමුළුව සඳහා එක්ව සිටි අතර, එම සෞඛ්‍ය සේවකයින් ක්ෂේත්‍ර රාජකාරී වලදී මුහුණ දෙන ගැටළු සහ අභියෝග, කාර්ය මණ්ඩලය ඉහළ නැංවීම,  පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, උසස්වීම් ක්‍රමවේදයන්හි පවතින අඩුපාඩු, වැටුප් හා දීමනා සම්බන්ධ ගැටළු, තාක්ෂණික සේවා ඉහළ නැංවීම, ප්‍රවාහන ගැටළු, සේවා තෘප්තිමත්භාවය ඉහළ නැංවීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: