hit counter

2025 සැප්‍තැම්‍බර් මස 29 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 29, ප.ව. 5:52



පුනරුදයක මානවවාදී යථාර්තය, ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නිර්මාතෘ මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාගේ 48වන ගුණ සමරුම අද (29) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ  මෙම විශේෂ ගුණ සමරුමේ දී පැමිණි සිටි පිරිස පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය  අජිත් කුමාර මහතා විසින් පවත්වන ලදී.

එමෙන් ම සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ සමන්ත කෝරළේ ආරච්චි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් සී. විරසිංහ යන මහත්වරුන් ද දේශන  පවත්වන ලද අතර, ප්‍රධාන සමරු දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සම්මානිත මහාචාර්ය නාරද වර්ණසූරිය මහතා විසින් පවත්වන ලදී.

1977 සැප්තැම්බර් 29 වැනි අද වැනි දිනයක ගයනාවේ දී සිදුවූ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ අභාවය සම්බන්ධව බොහෝ දෙනෙක්  කතාකරන බවත්, මීට පෙර සෞඛ්‍ය අමාත්‍යධූරය හෙඹවු අයත් මෙම සමරුවට සම්බන්ධ වී එතුමාගේ අභාවය පිළිබඳව කතා කළ බව මෙහි දී සභාව අමතමින් ප්‍රධාන ආරාධිත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා   පැවසී ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, මහාචාර්ය සේනක බිබිලේ මහතා 1971 සිට 1976 දක්වා කාලය තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටුවා එහි ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මෙරට දී  එ් මහතාටත්, එ් මහතා කරමින් සිටි කාර්යයට කොතරම් බාධක පැමිණියා ද යන්න පිළිබඳව අප අවධානය යොමුකළ යුතු බව ද පැවසී ය.

පෙර දවස එම ගමනට බාධාකිරීමට කටයුතු කළ අය හෝ එවැනි ව්‍යාපාරයකට සම්බන්ධ අයටත් මෙරට සිද්ධීන් අමතක කර මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගයනාවේ මරණය ගැන කතා කිරීමට හැකි බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා දෙනගම සිරිවර්ධනයන්ගේ යුගයේ මිනිසා කෘතිය කියවන විටත්, සෞඛ්‍ය සහ ඖෂධ ක්ෂේත්‍රයන්වල ප්‍රායෝගිකව රාජකාරී කටයුතු කරන ඔබටත් අතීතයෙත් මේ දේවල් ඒ අයුරින්ම සිදුවුනා නේද යන්න  සමහර විට සිහිපත්වන බව ද පැවසී ය.

ඖෂධ සංස්ථාව ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව සැපයීම සඳහාත්, ඖෂධ මිල අඩු කිරීම සඳහාත් කටයුතු කරන බවත්, මීට වර්ෂ 50 කට පෙර සිදුවුණු ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම වර්ථමානයේ ද සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේ ය.

වෛද්‍යවරුන් වූවාට දේශපාලනය කරන අය ඖෂධ සමාගම්වලින් මුදල් ලබා ගෙන ඖෂධ සැපයුමට බාධාකාරීවන ලෙස විවිධාකාරයේ ප්‍රවෘත්ති නිර්මාණය කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා  සමහර පුවත් මතු කරමින් නැති ඖෂධ හිඟයක් මවාපාන බව ද පැවසී ය.

මෙරට ජනතාවට අඩුමිලට ගුණාත්මක ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය දුබල කරන්නට පුද්ගලයන් ඉලක්ක කර මාධ්‍ය හරහා  ප්‍රහාරයන් එල්ල කරමින්  ඔවුන්ව දුබලකර ඔවුන්ට අවශ්‍ය ආකාරයට මෙය හැසිරවීමට කටයුතු කරන බව පෙනී ගොස් ඇති බව ද පැවසී ය.

එදත් මහාචාර්ය සේනක බිබිලේ මහතාට එවැනි අවලාද එල්ල කර ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් පරිවර්ථනයක් සිදුකරමින් සිටින අවස්ථාවක මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් ක්‍රියාත්මක කළ සහ පැවසූ  දේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව අනෙකුත් අංශ වලටද අනුගත කළ යුතු බව ද සඳහන්කර සිටියේ ය.

මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් හදුන්වා දුන් වාර්ථාවේ අවසාන කරුණ ලෙස සඳහන් වුයේ  මෙරටට පහසුකම් සහිත පරීක්ෂණාගාරයක අවශ්‍යතාවයයි. එය බටහිර ඖෂධ වලට පමණක් නොව ආයුර්වේද ඖෂධ, කෘෂි නිෂ්පාදන, රූපලාවන්‍ය ඇතුළු සියල්ලටම අවශ්‍යය වන බවත්, මේ වන විට ඊට අවධාණය යොමු කරමින් ඩොලර් මිලියන 10 ක පමණ වැයවන ව්‍යාපෘතියක් ලෙස ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කරන බව ද පැවසී ය.

ආර්ථික වශයෙන් පරිහානියට පත්වූ රටක් අදියරෙන් අදියර ගොඩනගමින් ආර්ථික වර්ධනයක් උදාකර ගනු ලබන අවස්ථාවක සියලු අඩුපාඩු එක් පෑන් පහරකින් සම්පුර්ණ කර ගත නොහැකි බව පැවසු අමාත්‍යවරයා බදිරියේ දී සියල්ල යථා තත්වයට පත් කර ගැනීමට කටයුතු කරන බව අවධාරණය කළේ ය.

මහාචාර්ය සේනක බිබිලේ මහතා 1977 වර්ෂයේ සැප්තැම්බර් 29  දින ගයනාවේ දී අභාවප්‍රාප්ත වූ අතර එම දිනය සමරමින් සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 29  දින අඛණ්ඩව මෙම සැමරුම් උත්සවය පැවැත්වීම ද විශේෂත්වයකි.

මහාචාර්ය සේනක බිබිලේ මහතා  1920 පෙබරවාරි 13 වන දිනය උපත ලබා ඇති අතර  මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්  මූලික හා ද්වීතීක අධ්‍යාපනය  ලබා ඇත. පසුව ඒ මහතා කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී 1945 දී පළමු පන්තියේ ගෞරව උපාධියක් සමඟ MBBS උපාධිය ලබා ගත් අතර එහි දී ඔහුට වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම සඳහා රන් පදක්කම් ද හිමි විය.

1954 දී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන අංශයේ ප්‍රධානියා ලෙස සේවයට එක් වූ සේනක බිබිලේ මහතා 1958 වර්ෂයේ දී එම විෂය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා බවට ද පත් විය.

1967 සිට 1977 දක්වා ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රථම පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා වෛද්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය අධ්‍යාපන ඒකකය ද පිහිටුවීමට කටයුතු කරනු ලැබීය.

1971 සැප්තැම්බර් 22 වන දින ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (State Pharmaceuticals Corporation – SPC) පිහිටුවනු ලැබු අතර මහචාර්ය සේනක බිබිලේ මහතා එහි ප්‍රථම සභාපතිවරයා ලෙස කිසිදු වැටුපක් නොලබා සේවය කළේ ය.

මහාචාර්ය සේනක බිබිලේ 1977 සැප්තැම්බර් 29 වන දින කැරිබියන් දූපතක් වන ගයනාවේ දී අභාවප්‍රාප්ත විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යා වෛද්‍ය හංසක විජේමුණි, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහචාර්ය ජයන්ත විජේබණ්ඩාර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විධායක අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදු බණ්ඩාර, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, දුම්කොලස හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක,සමස්තලංකා ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති චරිත අමරදිවාකරයන මහත්වරුන් ඇතුළුව මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෘත්තීය සමිති නායකයින්, සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: